. ගෝපාල්ගේ පන්දු යැවීම රාජස්තාන් පිල දිනවයි | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ගෝපාල්ගේ පන්දු යැවීම රාජස්තාන් පිල දිනවයි
2018-05-19 16:16:40 | .

ශ්‍රෙයාස් ගෝපාල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 53 වැනි තරගය ලෙස රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30 ජයක් අත්කර ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග රාජස්ථාන් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි වූ අතර බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට ශ්‍රෙයාස් ගෝපාල් ප්‍රමුඛ රාජස්ථාන් පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීම නිරත වූ ගෝපාල්, බැංග්ලෝර් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූයේ සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කරමිනි.

එහිදී ගෝපාල් දවාගත් කඩුලු 4 න් 3 ක්ම කඩුලු රකින ක්‍රීඩක හෙයින්රිච් ක්ලාසන්ගේ දක්ෂ ස්ටම්ප් කිරීම් හමුවේ දවාගත් කඩුලු වූ අතර ඔහු අනෙක් කඩුල්ල දවාගත්තේ තමාගේම අතට පැමිණි උඩ පන්දුවක් රැකගැනීමෙනි. බැංග්ලෝර් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අහුරා දැමීම සඳහා ගෝපාල්ට අනගි සහයක් දුන් බෙන් ලෝලින් සහ ජයදේව් උනාඞ්කට් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 කටත් අඩුවෙන් දැවීයද්දී, බැංග්ලෝර් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ඒ.බී. ඩිවිලියස් සමත් විය. පන්දු 35 කට මුහුණදුන් ඩිවිලියස්, සිය අර්ධ ශතකය හතරේ පහර 7 කින් සැරසීය. ආරම්භක පිතිකරු පාර්තිව් පටේල් (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩිවිලියස් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස්කළ අතර රාජස්තාන් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු රාහුල් ට්‍රිපාති පන්දු 58 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කළේය.

නායක අජින්ක්‍යා රහනේ (33) සමග එකව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ට්‍රිපාති , ඉන් නොනැවතී හෙයින්රිච් ක්ලාසන් (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජස්තාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 31 කදී වාර්තා වූ රහනේගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ ක්ලාසෙන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ උමේෂ් යාදව් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තේ අජින්ක්‍යා රහනේගේ කඩුල්ලද සමගිනි. ජොෆ්රා ආචර් සහ සංජු සැම්සන් ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමටද යාදව් සමත් විය.


රාජස්තාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 164
(රාහුල් ත්‍රිපාති නොදැවී 80, අජින්ක්‍යා රහනේ 33, හෙයින්රිච් ක්ලාසන් 32, උමේෂ් යාදව් 25/3)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී සියලු දෙනා  දැවී 134  
(ඒ.බී. ඩිවිලියස් 53, පාර්තිව් පටේල් 33, ශ්‍රෙයාස් ගෝපාල් 16/4, බෙන් ලෝංලින් 15/2, ජයදේව් උනාඞ්කට් 27/2)

 

- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...