. පපුවේ වේදනාවක් සෙරීනාව නතර කරයි | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
පපුවේ වේදනාවක් සෙරීනාව නතර කරයි
2018-06-05 09:24:27 | .

වසර දෙකකට පසුව ලෝක පූජිත ක්‍රීඩිකාවන් දෙදෙනකුගේ සංග්‍රාමයක් දැකබලා ගැනීමට නොඉවසිල්ලෙන් සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් අන්තිම මොහොතේ අමෙරිකාවේ ටෙනිස් ශූරිය සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්වූවාය. 

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පුනරාගමනය ස්වර්ණමය මතක සටහනක් බවට පත් කිරිමට බලා සිටි 36 හැවිරිදි සෙරීනාට මේ අභාග්‍ය සම්පන්න සිදුවීමට මුහුණදීමට වූයේ ඇගේ ළය පෙදෙසේ මාංශපේශීයක ඇතිවූ විඳ දරාගත නොහැකි වේදනාවක් නිසාය.

එය උත්සන්න වූයේ රුසියාවේ සුපිරි ක්‍රීඩිකා මරියා ෂරපෝවා සමග ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සිවුවැනි වටයේ තරගය ආරම්භවීමට මිනිත්තු කිහිපයකට පෙරයි.

සෙරීනා කියන විදිහට මේ මාංශපේශී වේදනාව ඇයට මුලින්ම දැනී ඇත්තේ ඊට දින දෙකකට පෙර ජූලියා ජෝර්ජ් සමග පැවැති තුන්වැනි වටයේ තරගය අතරතුරදීය. පෙරේදා පැවැති යුගල තරග තුන්වැනි වටයේදී එය වඩාත් දරුණු අතට හැරී තිබිණි. එම තරගයෙන් සෙරීනා සහ වීනස් සොයුරියෝ පරාජයට පත්වූයේද තරගය පුරා සෙරීනා දස්කම් අතර නොසිටීම හේතුවෙනි. 

පරාජයකදී හැර, මීට පෙර කිසිදිනෙක ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක් අතරතුරදී මෙවැනි තත්ත්වයක් මත තරගාවලියෙන් ඉවත් නොවූ සෙරීනා ඊයේ තරගයෙන් ඉවත්වූයේ කිසිවකු බලාපොරොත්තු නොවන පරිද්දෙනි. සෙරීනා  අද එම්.ආර්.අයි. පරීක්ෂණයකට මුහුණදීමට නියමිතය. 
නැවත ක්‍රීඩා කිරීමට හැකියාව හා ඇගේ ශාරිරික යෝග්‍යතාව පිළිබඳ එහිදී තීරණය කෙරෙනු ඇත. එසේ වුවත් දැනට පෙනෙන හැටියට තවත් සති 4කින් ආරම්භ වන විම්බල්ඩන් ශූරතාවලියටත් ඇගේ සහභාගිත්වය අවිනිශ්චිතය. 

“මම දන්නෙ නෑ අද පරීක්ෂණයේ ප්‍රතිඵල කොහොම වේවිද කියලා” ඇය එසේ කීවේ නැවත ටෙනිස් ක්‍රීඩා කිරිමට හැකියාවක් ලැබේවිදැයි වාර්තාකරුවන් ඇසූ මොහොතේදීය.

“මට පුළුවන් තරම් විශේෂඥ වෛද්‍යවරු මුණ ගැහෙන්නයි තීරණය කළේ” ඇය සටන අත් හැරීමට සූදානම් නැත. 
“මට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නෑ. මේක දරාගන්න බැරි තරම් වේදනාකාරීයි. මම දන්නෙ නෑ මොනව කරන්නද කියලා.

වේදනාවටත් වඩා විශාල දුකක් මට දැනෙනවා. මම ගොඩාක් දේවල් කැපකළා. මගේ දුව, මගේ පවුල මේ හැම දෙයක්ම කැප කරලයි ආපහු ටෙනිස් පිටියට ආවේ.” ඇය එසේ කියන්නේ වේදනාවෙන් යුතුවය.

“හැම මැච් එකකදීම හොඳට කළා. ශාරිරිකව ඉහළින්මයි හිටියේ. ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය වෙනුවෙන් මම ගොඩාක් දේවල් පරිත්‍යාග කළා. දැන් ඉතිං ඒවා ඉවරයි.”

සෙරීනාගේ අනපේක්ෂිත ඉවත්වීම නිසා මරියා ෂරපෝවා තරගයකින් තොරවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. 
ෂරපෝවාගේ පුහුණුකරුවා වන තෝමස් හොජ්ස්ටෙඞ් මහතා කීවේ සෙරීනා තරගාවලියෙන් ඉවත්වන බව කියද්දී ෂරපෝවා තරගයට ඇය පැමිණෙන තුරු පිටිය අසළ බලා සිටිය බවය.

“ඒක අදහාගන්නත් බැරි පුවතක් වුණා”
“අපි හොඳින් සූදානම්වෙලයි හිටියේ. මේ වගේ තරගයකට සෑහෙන කාලයක් තිස්සේ අපි බලාගෙන හිටියා” යයි ෂරපෝවාගේ පුහුණුකරු කියද්දී සිය විශිෂ්ටතම ප්‍රතිවාදිනිය ගැන ෂරපෝවා මෙසේ කීවාය.

“ඇයට ඉක්මනට සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සෙරීනාගේ මැච් එක ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි හිටියේ. දුකයි ඇය මේ විදිහට තරගාවලියෙන් ඉවත්වීම ගැන.”
යයි ෂරපෝවා කීවාය. 

- 077

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...