. ශ්‍රී ලංකාවට තියුණු ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
ශ්‍රී ලංකාවට තියුණු ජයක්
2018-08-08 23:00:15 | දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට...

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද (8 වැනිදා) පැවැති සිව්වැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 3 ක තියුණු ජයක් ලබාගත්හ. ඕවර 21 කදී ලකුණු 191 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 187 දී නතර කිරීමට සුරංග ලක්මාල් (46/3) ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ එකම ජය ලබාගත්තද දකුණු අප්‍රිකානුවෝ 3-1 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති. දකුණු අප්‍රිකානු පිල හමුවේ පිට පිටම එක්දින තරග 11 කින් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊට නැවතීමේ තිත තබාගත්තේය.

වර්ෂාවෙන් ලැබුණු වාසිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය මාවතට අවතීර්ණ වී සිටියද අවසන් ඕවර හතේදී ලකුණු 54 කට කඩුලු හයක් දවාගනිමින් සංචාරකයන්ගේ ගමන අවහිර කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

12 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 3 කට ලකුණු 128 ක් ලබා සිටි දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණය සඳහා ඕවර 9 කින් ලකුණු 63 ක් අවශ්‍ය වී තිබිණ. පහසු උඩපන්දු දෙකක් ගිළිහී ගියද එක්ස්ට්‍රා කවර්ස්හි සිට අසීරු උඩපන්දුවක් රැකගනිමින් හෙන්රික් ක්ලාසන් දවාගත්  ඇන්ජලෝ මැතිව්ස් තරගයේ ගමන් මග වෙනස් කළේය.
 
විලියම් මල්ඩර් දවාගැනීමට ධනංජය ද සිල්වා රැකගත් උඩපන්දුව අති විශිෂ්ට එකක් වූ අතර එයින් දිරිමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එන්න එන්නම දකුණු අප්‍රිකානුවන් වෙත පීඩනය වැඩි කළහ. තම පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටි ඬේවිඞ් මිලර් තනි අතින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට උත්සාහ දැරූ නමුත් අවසන් ඕවරය යැවූ සුරංග ලක්මාල්ගේ පන්දුවක් මිලර්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැඩී කඩුල්ලට කඩාවැදුණේ තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු කරමිනි. අවසන් පන්දු 4 න් ලකුණු 8 ක් ලබාගැනීමට තිබුණද සුරංග ලක්මාල්ගෙන් අවසර ලැබුණේ ලකුණු 4 ක් ලබාගැනීමට පමණි.

කලකට අමතක නොවන අර්ධ ශතක තුනකින් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පිවිසි ක්‍රිකට් ලෝලීන්ට සංග්‍රහ කළ කුසල් පෙරේරා (51), තිසර පෙරේරා (නොදැවී 51) සහ දසුන් ශානක (65) එක්ව ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 306 ක් දක්වා ඉහළ දැමූහ. අලංකාර පිතිහරඹයක යෙදෙමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ තිසර පෙරේරා සහ දසුන් ශානක ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 67 ක් පමණි.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව හතරේ පහර 27 ක්  සහ හයේ පහර 12 ක් ගැසූ ශ්‍රී ලංකා පිතිකරුවෝ සෑම පන්දු යවන්නකුටම හයේ පහර දෙකකින් සංග්‍රහ කළහ. පන්දු 34 කට මුහුණ දුන් දසුන් ශානක පන්දු යවන්නන්ගේ මන්දගාමී පන්දු මනාව හඳුනාගනිමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. තිසරගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

ප්‍රේක්‍ෂකයන් අමන්දානන්දයට පත්කළ කුසල් පෙරේරා පන්දු 32 කින් ලකුණු 51 ක් ලබාගත්තේ චිත්තාකර්නීය හයේ පහර දෙකකින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සරසමිනි.

 

ඡායාරූප - ශාන්ත රත්නායක

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...