. ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 18 වැනි ඉරිදා
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක්
2018-08-09 10:05:34 | රොෂාන් ගුණරත්න රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...

දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති පළමු නිළනොවන එක්දින තරගය ලකුණු 215 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 377 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට ඕවර 33.1 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණි. ආරම්භක පිතිකරුවන්වූ ජිවේශාන් පිල්ලේ සහ මැතිව් බි්‍රට්ස්කේ වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දු 33 කදී ලකුණු 41 ක් සම්බන්ධතාවයක් ගොඩනැගුවද නිශාන් පීරිස්ගේ පන්දුවක් හමුවේ ජිවේශාන් පිල්ලේ ලකුණු 18 කට දැවීයෑමත් සමගින් එම සම්බන්ධතාව නිමාවට පත්විය.

මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වන විට කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් සිය කණ්ඩායම ඉදිරියට ගෙනයාමට මැතිව් බි්‍රට්ස්කේ උත්සහ කළද, ෂෙහාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක චරිත් අසලංක රැකගත් උඩපන්දුව හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 51 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත් මැතිව් බි්‍රට්ස්කේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය.

මැතිව් බි්‍රට්ස්කේට අමතරව ලකුණු 20 සීමාව පසුකිරීමට හැකි වූයේ ඔන්කේ න්යකූට (29) සහ කර්වින් මුන්ග්‍රෝට පමණි. අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ කර්වින් මුන්ග්‍රෝ පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 27 ක් රැස්කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කළ පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පිරීස් ඕවර 8.1 කදී ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 ක් දවාගත් අතර සෙසු පන්දු යවන්නෝ කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම, දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රම (141) එක්ව පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 252 ක සම්බන්ධතාව හේතුවෙන් ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 376 ක් රැස්කිරීමට සමත් විය.

ටෙස්ට් තරග සඳහා පමණක් යෝග්‍ය පිතිකරුවකු ලෙස නම් දරා සිටි දිමුත් කරුණාරත්න වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පන්දු 117 කදී ලකුණු 125 ක් රැස්කිරීමට සමත් විය. ග්‍රෙගරි මලෝක්වානාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විට පැය තුනකට ආසන්න කාළයක් කඩුල්ලේ රැඳීසිටි දිමුත් කරුණාරත්න හතරේ පහර 14 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්ව සිටියේය.

ලකුණු 41 ක් රැස්කර සිටියදී ලබාදුන් උඩපන්දුව ඔන්කේ න්යකූ විසින් අතහැරීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවන්තවූ සධීර සමරවික්‍රම ඉන් නිසි ප්‍රයෝජන ගනිමින් ශතකය කරා යෑමට සමත් විය. වේගයෙන් ලකුණු රැස්කිරීමට රුචියක් දක්වන සධීර සමරවික්‍රම ආරම්භයේදී තරමක් පරිස්සමින් පන්දුවට පහර දුන්නද, ශතකය ලබාගැනීමෙන් පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් සිය ලකුණු සංඛ්‍යාව 141 ක් දක්වා ඉහළ නංවා ගත්තේය. ලුතෝ සිපම්ලාගේ දුර්වල පන්දුවකට ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව කඩුලු රකින ක්‍රීඩක රයන් රිකෙල්ටන් රැකගැනීමත් සමගින් මිනිත්තු 205 ක පමණ කාළයක් කඩුල්ලේ රැඳී සිටි සධීර සමරවික්‍රමගේ ඉනිම නිමාවට පත්විය. පන්දු 127 කට මුහුණදුන් සධීර හයේ පහරකින් සහ හතරේ පහර 17 කින් සිය ඉනිම අලංකාර කළේය.  

සම්මු අශාන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලකුණු ලබානොදීම පිටියෙන් ඉවත් කිරීමට දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලුතෝ සිපම්ලා සමත් විය.

ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 4 ක තහනමකට ලක්වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා නම් කරන ලද සංචිතයට එක්කර සිටින දිනේෂ් චන්දිමාල්, දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 38 කදී නොදැවී ලකුණු 58 ක් රැස්කළේය. චන්දිමාල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

පසුගිය තරගාවලියන්හිදී ලකුණු අතර නොසිටීම හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අසේල ගුණරත්න සිය සුපුරුදු රිද්මයට පැමිණෙමින් දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 38 කදී ලකුණු 77 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීය. පන්දු 19 කට මුහුණදුන් අසේල ගුණරත්න හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 35 ක් රැස්කිරීමට සමත් විය.

පන්දු යවන්නන් හත්දෙනෙකු යොදා ගත්තද ඉන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ නායක ටෝනී ඩි’ සෝසීට නොහැකි විය.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...