. ටෙනිස් ප්‍රශ්නයෙන් ඔලිම්පික් කමිටුව පඹ ගාලක | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
ටෙනිස් ප්‍රශ්නයෙන් ඔලිම්පික් කමිටුව පඹ ගාලක
2018-08-09 21:50:36 | ශානුක අරවින්ද

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී මේ මස 18 වැනිදා ආරම්භ වීමට නියමිත 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමට තේරීම් තරගවලියට සහභාගි නොවූ ක්‍රීඩිකාවක් ඇතුළත් කිරීමෙන් දැඩි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. එම ක්‍රිඩිකාවට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම වෙනුවෙන් තේරීම් තරගාවලියේදී සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් කණ්ඩායමෙන් ඉවත් කර ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුවට පාර්ශව කිහිපයකින්ම චෝදනා එල්ල වී තිබේ.

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ටෙනිස් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැති තේරීම් තරගාවලියේදී අංජලිකා කුරේරා සහ සවිනි ජයසූරිය ඉහළම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායමේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත් වූහ. තේරීම් තරගාවලියේ පළමු සහ දෙවැනි අදියර වලදී ජයග්‍රහණ ලබා තෙවැනි අදියරට පැමිණි අංජලිකාට සහ සවිනිට තෙවැනි අදියරේදී අනීකා සෙනෙවිරත්නට එරෙහිව තරග වැදීමට සිදු වුවත්, එම තරග සඳහා අනීකා සහභාගි නොවීම හේතුවෙන් අංජලිකාට සහ සවිනිට එහිදී නිතරග ජයග්‍රහණ හිමිව තිබේ.

එසේ වුවත් තෝරාගත් කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුව වෙත යැවීමේදී තේරීම් තරග සඳහා සහභාගි නොවූ අනීකා සෙනෙවිරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි ක්‍රීඩිකාව ලෙස නිර්දේශ කර යැවීමට ජාතික ටෙනිස් තේරීම් කමිටුව පියවර ගෙන තිබුණ බව වාර්තා වේ.
ටෙනිස් තේරීම් කමිටුව එසේ තෝරාගත් කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුව වෙත යොමුවීමෙන් අනතුරුව අනුමත කිරීමේ වගකීම ජාතික තේරීම් කමිටුවට පැවරී ඇති අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුගෙන් සමන්විත ටෙනිස් කණ්ඩායම 4 දෙනෙක් දක්වා අඩු කිරීමට එම කමිටුවට පියවර ගෙන තිබේ.

අවසන් තේරීම් කිරීමේදී දෙවැනි ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටි සවිනි ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් කරමින් තෙවැනි ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමට නම්කර තිබූ අනීකා සෙනෙවිරත්න කණ්ඩායමට ඇතුළත් කිරීමට ජාතික තේරීම් කමිටුව එහිදී කටයුතු කර තිබේ. අනීකා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සහභාපතිවරයකු වන අසංග සෙනෙවිරත්න මහතාගේ දියණියකි.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය වගඋත්තර කරුවන් කරමින් අධිකරණයේ නඩු පැවරීමට සවිනි ජයසූරියගේ දෙමාපියන් කටයුතු කළ අතර එම නඩුව අවසානයේදී ඇය යළිත් කණ්ඩායමට නිර්දේෂ කරන ලෙස අධිකරණය නියෝගයක් ලබා දුන්නේය. එම නියෝගය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ජාතික ඔලිම්පික් කමිටුව වෙත දැනුම් දීමටද අධිකරණය කටයුතු කළේය.

එසේ අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් සවිනි ජයසූරිය යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීම ප්‍රමාද කළ බවට බවට ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනා නැගෙන අතර ඇගේ නම ‘සවිනි දිසංකා ජයසූරිය’ වෙනුවට ‘සවිනි දිසංකා දිසානායක’ ලෙස යොදා ඇතැයි කියන සිද්ධියක් හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් එම නිර්දේශය ප්‍රතික්ෂේප කර ඇතැයි ඇගේ දෙමාපියෝ පවසති.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇගේ පියා වන හේමක ජයසූරිය මහතා කියා සිටියේ අධිකරණ නියෝගය ලැබීමෙන් අනතුරුව සිය දියණිය කණ්ඩායමට ඇතුළත් කර ඇත්දැයි දැනගැනීම සඳහා තමා ජාතික ඔලිම්පික් කමිටුව වෙත ගිය නමුත්, රැස්වීම්වල සිටින බව පවසමින් එහි කිසිදු වගකියුතු නිලධාරියෙක් තමා හමුවීමට නොපැමිණි බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුකමකදී ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ඉහළ නිලධාරීයෙක් පවසා සිටියේ සවිනි ජයසූරිය යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුව තවමත් තම සංගමට ලිඛිත දැනම්දීමක් කර නොමැති බවයි. එවැනි ලිඛිත දැනුම් දීමක් ලැබුණහොත් අදාල ක්‍රීඩිකාවට තරගාවලියට සහභාගි වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ටෙනිස් සංගමය සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තේරීම් තරගාවලියට සහභාගි නොවූ ක්‍රීඩිකාවක් කණ්ඩායමට නම් කිරීම සම්බන්ධයෙන් ටෙනිස් තේරීම් කමිටු සභාපති අර්ජුන් ප්‍රනාන්දු මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධ කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස තමාට නීති උපදෙස් ලැබී ඇති බවයි.
ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුභ්‍රමනියම් මහතා මෙන්ම එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාද ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපතිවරුන් ලෙස මින් පෙර අවස්ථාවලදී කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...