. ඇන්ඩසන් - ස්ටෝක්ස් ඉන්දියාව අමාරුවේ දමති | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ඇන්ඩසන් - ස්ටෝක්ස් ඉන්දියාව අමාරුවේ දමති
2018-09-09 10:49:14 | .

ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ තේ පානයෙන් පසුව ජේම්ස් ඇන්ඩසන් සහ බෙන් ස්ටෝක්ස් දෙදෙනා එක්ව ලකුණු 59 ක් තුළදී කඩුලු 4 ක් බිම දමමින් ඉන්දීය පිල අමාරුවේ දැමූහ. එංගලන්තය මුල් ඉනිම සඳහා ලබාගත් ලකුණු 332 ට පිළිතුරු සොයා යමින් සිටි ඉන්දීය පිල එක අවස්ථාවකදී කඩුලු 2 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියේය. එහෙත් ඇන්ඩසන් සහ ස්ටෝක්ස් දෙදෙනා එක්ව හෝරාවක් වැනි කාලයක් තුළදී ඉන්දීය පිතිකරුවන් සිවු දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවමින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම උදුරා ගත්හ.  

පුජාරා කඩුල්ලේ රැඳී සිටියදී කඩුලු 2 කට 101 ක් ලබා සිටි සංචාරක කණ්ඩායමේ ලකුණු පුවරුව ඕවර 15.4 ක් ඇවෑමෙන් කඩුලු 6 කට 160 ක් සේ වෙනස් විය. දිනයේ ක්‍රීඩාව අවසන් වන විට ඉන්දීය පිල කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබා තිබුණද ඒ වන විට සෑහෙන අමාරුවක වැටී සිටියේය. මුල් ඉනිමේදී වාසියක් අත්කර ගැනීමට නම් ඉන්දියානුවන්ට තවත් ලකුණු 158 ක් අවශ්‍ය වන නමුත් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 4 ක් පමණි. 

පළමු දිනය අවසානයේදී ලකුණු 198 කට කඩුලු 7 ක් අහිමි කරගනිමින් අසරණව සිටි එංගලන්තය වෙනුවෙන් ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ ජොස් බට්ලර් (89) ඇතුළු එංගලන්තයේ පසුපෙළ පිතිකරුවෝ 332 ක් දක්වා සිය ඉනිම ඉදිරියට ගෙන ගියහ. ස්ටුවර්ට් බ්‍රෝඞ් (38) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජොස් බට්ලර් විනාඩි 211 ක් පිටියේ රැඳෙමින් පන්දු 133 කට මුහුණ දුන්නේ ඒවායින් 8 ක් (හතරේ පහර 6යි, හයේ පහර 2යි) ලණුවෙන් එපිටට යවමිනි. 

තරමක් සීතල සහ මන්දාරම් අහස යට පන්දුව හොඳින් දෝලනය කිරීමට ජස්ප්‍රීට් බුම්රා මෙන්ම මොහොමඞ් ෂාමි සමත් වූ හෙයින් ලකුණු ලබාගැනීම එතරම් පහසු නොවීය. බොහෝ අවස්ථාවලදී ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පිත්ත පරයමින් පන්දුව ඇදී ගිය නමුත් ලකුණු එක - දෙක තල්ලු කිරීමට බට්ලර් සමත් වූයේය.  දෙදෙනා අතර ලකුණු 98 ක සම්බන්ධතාව නිමාවූයේ ලෝන්ග් ඕන් හි සිටි ලෝකේෂ් රාහුල්ගේ අති විශිෂ්ට පන්දු රැකීමකිනි. 

මෙවර ගිම්හානයේදී එංගලන්තයේ අති සාර්ථක පිතිකරුවා වූ ජොස් බට්ලර් පිටියේ දෙපැත්තෙන්ම ලකුණු ලබාගත්තේය. එහෙත් බ්‍රෝඞ් දැවී යාමෙන් පසුව පැමිණි ජේම්ස් ඇන්ඩසන් කෙරෙහි වැඩි බලාපොරොත්තු රඳවා ගැනීමට බැරිවූ හෙයින් බට්ලර් තනිවම ලකුණු සොයා යද්දී ශතකයට ලකුණු 11 ක් මෙපිටින් ගමන නතර කිරීමට සිදුවිය. 

පසුපෙළ පිතිකරුවන් ලබාගත් වාසිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත් එංගලන්ත පන්දු යවන්නෝ ඉන්දීය පිලේ බලාපොරොත්තු සුන් කර දැම්මේ පන්දු රකින්නන්ගේ සහයෝගයද මැනවින් ලබාගනිමිනි. මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටි බෙන් ස්ටෝක්ගේ පන්දුවක් හමුවේ රිෂාබ් පන්ට් දුන් උඩපන්දුව මෙම තරගාවලියේදී ඇලිස්ටෙයාර් කුක් රැකගත් 10 වැනි උඩපන්දුව විය. එය එංගලන්ත ක්‍රීඩකයකුග් වාර්තාවකි. ස්ලිප් ක්‍රීඩකයකු ලෙසින් විශිෂ්ට කීර්තිනාමයකට උරුමකම් කියන ඇලිස්ටෙයාර් කුක් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටී. 

එංගලන්ත පළමු ඉනිම - ඕවර 122 කදී සියලු දෙනා දැවී 332
(ඇලෙස්ටයාර් කුක් 71, කීටන් ජෙනින්ස් 23, මුයින් අලී 50, ජොස් බට්ලර් 89, ස්ටුවට් බ්‍රෝඩ් 38, රවින්ද්‍ර ජදේජා 79/4, ඉෂාන්ත් ශර්මා 62/3, ජස්ප්‍රීට් බුම්රා 83/3)

ඉන්දීය පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 6 ක් දැවී 174
(ලෝකේෂ් රාහුල් 37, චෙතේෂ්වර් පුජාරා 37, විරාට් කෝලි 49, හනුමාන් විහාරි නොදැවී 25, ජෙම්ස් ඇන්ඩසන් 20/2, බෙන් ස්ටෝක්ස් 44/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල සිව්වැනි අයි.පී.එල්. ශුරතාව දිනයි...
2019-05-12 19:40:39
හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහ...
බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට එවන්නේ නෑ - නස්මුල් හස...
2019-05-12 18:40:32
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවේදැයි සැකයක් හටගෙන තිබීම නිසා එළබෙන ජූලි ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...