. කුක් එංගලන්තය ජය මාවතට ගෙනෙයි | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
කුක් එංගලන්තය ජය මාවතට ගෙනෙයි
2018-09-11 12:20:22 | .

ක්‍රිකට් තරගයකදී නරඹන්නන් අසුන් වලින් නැඟිට අත්පොළසන් දෙමින් කරනු ලබන ආචාර සම්බන්ධයෙන් වාර්තා තැබෙන්නේ නම් එංගලන්ත පිලේ හිටපු නායකයා මෙන්ම සමුගන්නා ආරම්භක පිතිකරු ඇලිස්ටෙයා්ර් කුක් එහි ඉහළින්ම සිටිනු ඇත. නිසි පරිදි සංස්කරණය කරන ලද තිර පිටපතක් මෙන් ටක්කෙටම නිවැරදි වූ අවසානයක් සනිටුහන් කරමින් ටෙස්ට් ඉනිම 291 කට පසුව ඇලිස්ටෙයාර් කුක් ටෙස්ට් පිටියෙන් සමුගන්නේ සිය අවසන් ටෙස්ට් ඉනිමේදී අලංකාර ශතකයක්ද ලබාගැනීමෙන් පසුවය. 

කුක්ගේ ශතකය නිසා ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගය ජයගැනීමේ මාවතට පිවිස සිටින එංගලන්ත පන්දු යවන්නන් විසින් තවත් දවාගනු ලැබිය යුතුව ඇත්තේ ඉන්දීය පිතිකරුවන් හත් දෙනකු පමණි. 

තරගයේ තුන්වැනි දිනය නිමාවේදී නොදැවී ලකුණු 46 ක් ලබා සිටි කුක් 19,000 කට අධික නරඹන්නන්ගේ ඔල්වරසන් මැද සඳුදා පෙරවරුවේදී පිටියට පිවිසියේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් පිත්තත් රැගෙන පිටියට පිවිසෙන අවසන් දිනය එය බව හොඳින්ම දැනගෙනය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා, වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ක්‍රීඩකයා මෙන්ම වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වැනි වාර්තා ගොන්නකට හිමිකම් කියන කුක් ඊයේත් (10 වැනිදා) තමන් වෙනුවෙන් ඔල්වරසන් දෙන නරඹන්නන් පිනවීමට අමතක නොකළේය. 

කුක් සහ නායක ජෝ රූට් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 259 සම්බන්ධතාව මත සිට වේගයෙන් ලකුණු ලබාගත් එංගලන්ත කණ්ඩායම ඉනිම අත්හිටවූයේ තරගයෙන් ජයගැනීමට නම් ලකුණු 464 ක් ලබාගන්නා ලෙස ලෝකයේ අංක 1 කණ්ඩායමට අභියෝග කරමිනි. ඒ වන විට එංගලන්ත පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 කට ලකුණු 423 ක් ලබා සිටියේය. 

ඉන්දියානුවන් සිව්වැනි දිනය අවසන් කරන විට ලකුණු 58 කට කඩුලු 3 ක් අහිමි කරගෙන තිබිණ. 

වසර 12 කට ඉහතදී, ඉන්දියාවට එරෙහිව නාග්පූර් නුවරදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදීත් ශතකයක් ලබාගත් ඇලිස්ටෙයාර් කුක් කිසිදු කලබලයකින් තොරව සිය ශතකය කරා ගියේය. ලකුණු 96 ක් ලබා සිටියදී රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවක් තල්ලු කරමින් ලකුණක් කරා කුක් දිව යන අතරේ පන්දුව අහුළා ගත් ජස්ප්‍රීට් බුම්රාගේ දමාගැසීමක් හේතුවෙන් එය හතරේ සීමාව සොයා ගියේය. කිසිදු පීඩනයකින් තොරවම කුක්ට ශතකය හිමිවිය. 

“සමහර හීන හැබෑ වෙනවා....ඒ වගේ දෙයක් නාට්‍ය පිටපතකට ගන්න බෑ. ඒත් ඒක ඇදහිය නොහැකි අවසානයක්..මම ලකුණු 50 ක් ලබාගත්තාම මම හිතුවා හරි මම අර්ධ ශතකයක් ලබාගත්තානේ කියලා. ඒත් ලකුණු 80 ක් විතර ගත්තාම මට හිතුණා මට හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. ඒක සියල්ල සපිරුණු අවසානයක්”

“මේක හරිම පුදුමාකාර සතියක්. කොහොම වුණත් මම දැඩිව අධිෂ්ඨාන කරගෙන හිටියේ වේලාසනින්ම දැවී නොයන්න. එහෙම වුණානම් ඒක අපේ බලාපොරොත්තු කඩවීමක් වෙනවා” යයිද ඇලිස්ටෙයාර් කුක් තරගයෙන් පසුව පැවසීය. 

මේ වන විට ටෙස්ට් ලකුණු 12,472 ක් ලබා සිටින ඇලිස්ටෙයාර් කුක්ට ඉදිරියෙන් සිටින්නේ සචින් තෙන්ඩුල්කාර්, රිකී පොන්ටිං, ජැක් කලිස් සහ රාහුල් ද්‍රාවිඞ් පමණි. 

ඉන්දීය ඉනිම ආරම්භයේදීම ඉන්දියානුවන්ට මරු පහරක් දුන් ජේම්ස් ඇන්ඩසන් පන්දු 4 ක් ඇතුළතදී කඩුලු දෙකක් දවාගනිමින් ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 02 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කළේය. තවත් එක කඩුල්ලක් දවාගත්තේ නම් ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැග්‍රාත්ගේ ටෙස්ට් කඩුලු 564 පසුකර යාමේ අවස්ථාව ලබාගත හැකි වූවත් ඇන්ඩසන් එය අද දිනයට ඉතිරි කරගත්තේය. මෙම ඉලක්කයට ලඟා වීමත් සමගම ඇන්ඩසන් ටෙස්ට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත්වෙයි. 

ස්ටුවර්ට් බ්‍රෝඞ් වැඩට බැස්සේ විරාට කෝලි මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහුගේ ඉනිම අවසන් කරමිනි. කෙසේ වෙතත් දිනය නිමා වන විට අජින්ක්‍යා රහනේ සහ ලෝකේෂ් රාහුල් එක්ව 53 ක් දක්වා ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමා තිබිණ. 

සිව්වැනි දින සන්ධ්‍යාවේ පැවැති තත්ත්වය අනුව මෙම තරගයෙන් එංගලන්තය ජයගැනීමත් තරගාවලියෙන් 4-1 ක ජයක් හිමිකර ගැනීමත් වැළැක්විය නොහැකි බව පෙනෙන්නට තිබේ. එහෙත් දකුණු ලන්ඩනයේ පිහිටි වසර 100 කටත් වඩා පැරණි ඕවල් පිටියට ඊසේ එංගලන්ත වාසීන් පැමිණියේ කුක්ගේ අවසන් දිනය දැකගැනීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා ප්‍රවේශපතක් ලබාගැනීමේ අරමුණ ඇතිවය. 

එංගලන්තය පළමු ඉනිම  - 332

ඉන්දියාව පළමු ඉනිම  - 292

එංගලන්තය දෙවැනි ඉනිම - කඩුලු 8 ට 423

(ඇලිස්ටෙයාර් කුක් 147, කීටන් ජෙනින්ංග් 10, මුයින් අලී 20, ජෝ රූට් 125, ජොනී බෙයාර්ස්ටෝ 18, බෙන් ස්ටෝක්ස් 37, සෑම් කරන් 21, අදිල් රෂීඞ් නොදැවී 20, මොහොමඞ් ෂාමි 110/2, රවීන්ද්‍ර ජදේජා 179/3, හනුමන් විහාරි 37/3)

ඉන්දියාව  - දෙවැනි ඉනිම කඩුලු 3 ට 58

(ලෝකේෂ් රාහුල් නොදැවී 46, ජේම්ස් ඇන්ඩසන් 23/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...