. මේස පන්දු ප්‍රවීණයන්ගෙන් නිලවරණ කමිටුවට චෝදනා | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
මේස පන්දු ප්‍රවීණයන්ගෙන් නිලවරණ කමිටුවට චෝදනා
2018-10-28 21:20:12 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති ධූරයට තරග වැදීම සඳහා ඉදිරිපත්ව සිටින ලලිත් ලියනගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයකු බවට පිළිගනිමින් ඔහුගේ නාමයෝජනාව අනුමත කිරීම සම්බන්ධයෙන් මේසපන්දු ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ රැසක් නිලවරණ කමිටුව චෝදනා නගති.

ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතවරියක ලෙස නිලවරණ කමිටුවට ඇතුළත්ව සිටින සුභානි උඩවත්ත මහත්මිය පමණක් ලියනගේ මහතාගේ නාමයෝජනාව පිළිගැනීම සඳහා නිලවරණ කමිටුව ගෙන ඇති තීරණයට සිය විරෝධය දක්වා ඇත. නමුත් නිලවරණ කමිටුවේ සභාපති ජී.ජී. වීරක්කොඩි මහතාගේ සහ ජාතික ඔලිම්පික් කමිටු නියෝජිත චන්දන ලියනගේ මහතාගේ කැමැත්තට අනුව ලලිත් ලියනගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයකු බව පිළිගෙන තිබේ.

තමා ශ්‍රී ලංකාව නියෝජනය කළ බවට ලියනගේ මහතා නිලවරණ කමිටුවට ඉදිරිපත් කර ඇති සහතිකය 2017 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මේසපන්දු තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් ලැබූ සහතිකයක් බවට හෙළිවිය.

ලියනගේ මහතා එම තරගාවලියට සහභාගි වී ඇත්තේ තමා සභාපතීත්වය දරන ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය නියෝනය කරමින් බවටත්, ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය හැරුණුකොට ශ්‍රී ලංකාවේ තවත් ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කරමින් එම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සහභාගි වී ඇති බවටත් මින් පෙර කරුණු අනාවරණය විය.

එවැනි වාතාවරණයක් තිබියදී ඔහුගේ නාමයෝජනාව අනුමත කිරීමට නිලවරණ කමිටුව ගෙන ඇති තීරණය මේ වන විට මේසපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික මේසපන්දු ශූරයකු, මේසපන්දු පුහුණුකරුවකු, මේසපන්දු සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම මේසපන්දු තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වන ලලිත් ප්‍රියන්ත මහතා මෙසේ අදහස් දැක්වීය.

“කෙනෙක් ඕනෑම ක්‍රීඩාවකින් තමාගේ රට නියෝජනය කරන්න නම් අදාළ ක්‍රීඩාවට සම්බන්ධ තේරීම් කමිටුවක් මගින් පවත්වන තේරීම් තරගාවලියකට සහභාගි වෙන්න ඕනෙ. ඊට පස්සේ ඒ පුද්ගලයා රට නියෝජනය කරන්න තෝරාගත්තා කියලා තේරීම් කමිටුව අදාල ක්‍රීඩා සම්මේලනයට දැනුම් දෙන්න ඕනෙ. ඊට පස්සේ ක්‍රීඩා සම්මේලනය තෝරාගත්ත ක්‍රීඩකයා හෝ ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යංශයට යවලා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නත් ඕනෙ.”

“ඇමති අනුමැතිය ලැබුණ පළියට එයා තමන්ගේ රට නියෝජනය කළා වෙන්නෙත් නෑ. ඒකට අනිවාර්යෙන්ම එයා තමාව තෝරාගත්ත තරගාවලියට සහභාගි වෙන්නත් ඕනෙ. එහෙම වුණොත් තමයි කෙනෙක්ට තමන්ගේ රට නියෝජනය කළා කියන්න පුළුවන් වෙන්නේ. තෝරගත්තට පස්සේ අසනීප වෙලා හරි වෙතන් හේතුවක් මත හරි තරගාවලියට සහභාගි වෙන්න බැරි වුණොත් රට නියෝජනය කළා කියන්න බැහැනෙ.”

“ඉතින් ඒ වගේ නිවැරදි ක්‍රියා පටිපාටියක් තියෙද්දිත් ලලිත් ලියනගේ, ශ්‍රී ලංකාව නියෝජනය කළා කියලා මේ නිලවරණ කමිටුව පිළිගන්නවා නම් ඒකෙන් පෙන්නේ එක්කො එයාලා මේ ක්‍රියා පටිපාටිය ගැන දන්නේ නැහැ කියන එක. නැත්නම් වෙනත් පෞද්ගලික හේතුවක් මත එයාලා මේ තීරණය අරන් තියෙනවා කියන එක.”
“මොකද ලලිත් ලියනගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කළා කියන තරගාවලිය අවුරුදු 40 ට වැඩි ඕනම කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන් ප්‍රවීණයන්ගේ තරගාවලියක්. ඒකට තේරීම් තරගාවලියක් තිබුණේ නැහැ. ජාතික කණ්ඩායමක් තෝරලා ඇමතිගේ අනුමැතිය ගත්තේත් නැහැ. එයා ඒකට සහභාගි වුණේ ස්ටැග් කියන ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්. ඉතින් ඒක ශ්‍රී ලංකා නියෝජනයක් වෙන්න බැහැනෙ.”

“කොහොම වුණත් ඔය වීරක්කොඩි කියන පුද්ගලයා නිලවරණ කමිටුවට අවේ කෙහොමද කියන එකත් මට ප්‍රශ්නයක්. මොකද මම දන්න විධියට එයා මේසපන්දු ක්‍රීඩා කරන්න පටන් ගත්තේ අවුරුදු 50 ත් පැන්නට පස්සේ. අනික නිලවරණ කමිටුවේ සභාපති විධියට එයාව යෝජනා කරලා තියෙන්නෙත් ලලිත් ලියනගේ මහත්මයාට උදවු කරන කෙනෙක්මයි කියලයි මට ආරංචි වුණේ.”

ලලිත් ලියනගේ මහතා සහභාගි වී ඇති ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මේසපන්දු තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක් තෝරාගත්තේද යන්න සම්බන්ධයෙන් වත්මන් මේසපන්දු තේරීම් කමිටුවේ සභාපති මෙන්ම හිටපු ජාතික මේසපන්දු ක්‍රීඩකයකුද වන නිමල් ලූකස් මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
“ඒ තරගාවලියට අපි ශ්‍රී ලංකා කණ්ඩායමක් තොරාගත්තේ නෑ. ඒකට සහභාගි වුණ හැම කෙනෙක්ම තමන්ගේ ක්‍රීඩා සමාජය නියෝජනය කරලා තමයි ක්‍රීඩා කළේ. සාමාන්‍යයෙන් ප්‍රවීනයන්ගේ තරගාවලි වලට තේරීම් තරග තියෙන්නෙත් නෑ. ඒ වගේ තරගාවලි වලට ඕනම කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්.”

“මමත් ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය නියෝජනය කරලා ක්‍රීඩකයෙක් වශයෙන් ඒ තරගාවලියට සහභාගි වුණා. එකෙදි වයස 65 න් ඉහළ පිරිමි කණ්ඩායම ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගන්නත් අපේ ක්‍රීඩා සමාජයට පුළුවන් වුණා. හැබැයි ඒක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමක් කියලා මම කියන්නේ නෑ. ලලිත් ලියනගේ මහතාත් ඒ තරගාවලියට සහභාගි වුණේ ‘ස්ටැග්’ කියන එයාගෙ ක්‍රීඩා සමාජය නියෝජනය කරලා. ඒක කීයටවත් ශ්‍රී ලංකා නියෝජනයක් විධියට පිළිගන්න බැහැ.”

එම තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමයේ සභාපති මොහොමඞ් ලාෆීර් මහතා ‘ලංකාදීප’යට පවසා සිටියේ අදාල තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය සහ නේපාලය යන රටවලින්ද ක්‍රීඩා සමාජ කණ්ඩායම් රැසක් සහභාගි වූ බවයි. එහිදී කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක තමාගේ රට නියෝජනය කරමින් තරග නොවැදුණ බවත්, ඔවුනොවුන්ගේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරග වැඳුණ බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

“ඒක දකුණු ආසියාවේ ඕනම ක්‍රීඩකයෙකුට සහභාගි වෙන්න පුළුවන් තරගාවලියක්. ශ්‍රී ලංකාවෙනුත් ක්‍රීඩා සමාජ කණ්ඩායම් කිහිපයක්ම ඒ තරගාවලියට සහභාගි වුණා. ඒ හැමෝම කිවුවෝත් ඒගොල්ලෝ ශ්‍රී ලංකාව නියෝජනය කළා කියලා, ඒක වැරදිනේ. අනික ප්‍රවීනයන්ගේ තරගාවලි වලට සහභාගි වීම ශ්‍රී ලංකා නියෝජනයක් විධියට පිළිගන්නෙත් නැහැ.”

“නිලවරණ කමිටුවේ සභාපති වීරක්කොඩි මහත්මයා තමා අපි ඒ තරගාවලිය සංවිධානය කරනකොට අපේ සංගමයේ ලේකම් වෙලා හිටියේ. එයත් හොඳටම දන්නවා ලලිත් ලියනගේ කියන කෙනා ඒ තරගාවලියට සහභාගි වුණ එක ශ්‍රී ලංකා නියෝජනයක් නෙමෙයි කියලා. ඒ ගැන දැන දැනම තමා එයාලා ඔය තීරණය අරන් තියෙන්නේ.”

“අපේ සංගමයෙන් ලලිත්ගේ නාමයෝජනාවට විරෝධතාවකුත් දැම්මා. ඒත් ඒකට දලා තිබුණ දිනය වැරදි කියලා නිලවරණ කමිටුවෙන් ඒ විරෝධතාව බාරගත්තේ නැහැ. අපි කැමති සුදුසුකම් තියෙන මේසපන්දු ක්‍රීඩා කරපු කෙනෙක් මේ තනතුරට පත්වෙනවට. එතකොට තමා මේ ක්‍රීඩාව දියුණු කරන්න පුළුවන් වෙන්නේ. සුදුසු නැති පුද්ගලයෙක් ඒ තනතුරට ආවොත් වෙන්නේ මේ ක්‍රීඩාව විනාශ වෙලා යන එකයි.” යැයිද ලාෆීර් මහතා කියා සිටියේය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...