. ජයග්‍රහණය සහතික කළ ‘හේරා’ | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
ජයග්‍රහණය සහතික කළ ‘හේරා’
2018-11-07 11:46:10 | දමින්ද විජේසූරිය
දුරකතන ඇමතුමක බොහෝ දේ සැඟවී තිබේ. එහෙත් මේ තරම් දේ සඟවා ගත් තවත් දුරකතන ඇමතුම් ඇත්ද යන්න සොයා බැලීම වටී. 
 
නායකයකු වශයෙන් සිය පළමු තරගාවලියේදීම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගිය කුමාර් සංගක්කාරගේ පළමු ටෙස්ට් තරගාවලිය වූයේ පාකිස්තානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියයි. තරගාවලිය ආරම්භයේදීම සංගක්කාරට ලැබුණේ අසුබ ආරංචියකි. 
 
ඒ වන විටත් උරහිසේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මුත්තයියා මුරලිදරන් පුහුණුවීම් කරමින් සිටියදී දණහිසත් තුවාල කරගත්තේය. ආබාධ තිබියදීත්, වෛද්‍ය උපදෙස් පවා නොතකා, ක්‍රීඩා කිරීමේ ඉතිහාසයක් මුරලිදරන්ට ඇතත් යම් හෙයකින් මුරලිදරන් තදබල ආබාධයකට ලක්වුවහොත්...යන්න තේරීම් කමිටුවේත්, නායකයාගේත් හිසරදය වැඩිකළ පැනයක් විය. 
 
2011 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැතියේ වසර දෙකක කාලයකි. ඒ වන විටත් වසර 17 ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර, සිය තරග දිවියේ අවසාන භාගය කරා පියමං කරමින් සිටි, ශ්‍රී ලංකා පිලේ අංක එකේ දඟ පන්දු යවන්නා වූ මුරලිදරන් සමග අවදානමක් ගැනීමට තේරීම් කමිටුව මෙන්ම නායකයාත් පසුබට වූහ. එබැවින් පාකිස්තානු පිලට එරෙහිව තවත් ඉදිරි පෙළ දඟ පන්දු යවන්නකුගේ සේවය අත්‍යවශ්‍යව තිබිණ. 
 
තරගාවලිය පැවැත්වෙන්නේ පාකිස්තානු පිලට එරෙහිවය. පාකිස්තානු පිලේ එවකට පුහුණුකරුවා වශයෙන් සිටි ඩැව්නෙල් වට්මෝර් මහතා ද ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රීඩකයන් ගැනත් ‘මදි නොකියන්න’ දැන සිටියේය. මොකක් හෝ වෙනස් දෙයක් කළයුතුව තිබිණ. සංගක්කාර සිතන්නට වන්නේය.....
 
පාකිස්තානුවෝ වමත් දඟ පන්දු යවන්නන් හමුවේ හොඳින් සෙල්ලම් කරන්නේ නෑ. ඇරත් සෑහෙන කාලයක් තිස්සේ පාකිස්තානයේ හොඳ වමත් දඟ පන්දු යවන්නෙක් හිටියේ නෑ. හිටියා නම් ඒ වගේ කෙනෙකුට පාකිස්තානු පිලේ ඕනෑතරම් ඉඩ තිබුණා...
 
“ඔවුන්ට හිටපු අවසන් වමත් දඟ පන්දු යවන්නා අමීර් සොහේල්. ඒ 1996-2000 තරම් ඈත කාලයකදී. ඉතින් නෙට් එකේදිත් (පුහුණුවීම් කිරීමේදී) ඒ ගොල්ලන්ට හොඳ වමත් දඟ පන්දු යවන්නෙක් නැති නිසා ඒ ගොල්ලන් කොහොමටත් වමත් දඟ පන්දු යවන්නන් හමුවේ දුර්වලයි....” යයි සංගක්කාර හේතු පැහැදිළි කළේය. 
 
වරක් (2004 දී) මුරලිදරන්ට ක්‍රීඩා කළ නොහැකිවූ අවස්ථාවක, පාකිස්තානයේ ෆයිස්ලාබාද් නුවරදී, ද්විත්ව ශතකයක් ලබාගත් සනත් ජයසූරිය (238) සහ රංගන හේරත් (132/7) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය අයුරුද සංගක්කාර සිහිපත් වූයේ ය.
 
“අපි රංගනව ගෙන්නමු” සංගක්කාර යෝජනා කළේය. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමකට බැඳී නොසිටි රංගන හේරත් එංගලන්තයේ මොඩර්ෂෙල් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියේය. එහෙත් නායකයාගේ හේතු සාධක සාධාරණ බව දුටු අසන්ත ද මැල්  මහතාගේ තේරීම් කමිටුවෙන් අනුමැතිය ලැබිණ. 
 
සංගක්කාර හේරත්ට කතා කළේය. 
 
“රංගේ...ගාල්ලේ ටෙස්ට් මැච් එකක් තියෙනවා..හෙට නෙමෙයි අනිද්දා....ඔයාට එන්න පුළුවන්ද?” සංගක්කාරගේ කටහඬ මෙන්ම ස්වරයද හේරත් හැඳින්නේය. ව්‍යායාම ශාලාව වෙත යමින් සිටි හේරත් සිය ගමන අතරමග නතර කර ගුවන් තොටුපොළ වෙත ගියේය. ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළ කරා පැය 5 ක ගමනකි. එහෙත් හේරත් පසුබට නොවීය. ඔහුගේ හිතේ තිබුණේ “මේ මට ලැබෙන අන්තිම අවස්ථාව. මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනා” යන්නයි. 
 
එම දුරකතන ඇමතුමේ සැඟවී තිබුණේ රංගන හේරත් නම් වූ විශිෂ්ටයාගේ ටෙස්ට් පුනාරාගමනය පමණක් නොවේ. ටෙස්ට් කඩුලු 394 ක්, ටෙස්ට් ජයග්‍රහණ මාලාවක් මෙන්ම ශ්‍රී ලංකා පිලේ නායකත්වයද එහි සැඟවී තිබිණ. 
 
ඒ සියල්ලටම වඩා මුළු මහත් ක්‍රිකට් ලෝකයේම ආදරය, ගෞරවය මෙන්ම දැවැන්ත වූත් දීප්තිමත් වූත් මහෝඝයක් වන් කීර්ති කදම්බයක් ද රංගන කීර්ති බණ්ඩාර හේරත්ගේ පුනරාගමනයත් සමගම ඔහු සොයා ආවේය. රංගන සම්බන්ධයෙන් සුප්‍රකට ක්‍රිකට් විචාරකයකු වන ස්කොට් ඔලිවර් වරක් මෙසේ ලියා තිබිණ. 
 
“ඔබ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රූප යොදා ගනිමින් ‘මෘදු සෙල්ලම්බඩු’ නිෂ්පාදනය කරන්නේ නම්, හේරත් මුදියන්සේලාගේ රංගන කීර්තිබණ්ඩාර හේරත් චරිතය සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනු නිසැකය”
 
හේරත් පැමිණි ගුවන් යානය කටුනායකට ගොඩ බෑ වේලාවත් ටෙස්ට් තරගයේ කාසියේ වාසියත් අතර පැවැතියේ පැය 24 කටත් අඩු කාලයකි. එහෙත් තරගයට හේරත්ගේ නම ඇතුළත් කිරීමට නායක කුමාර් සංගක්කාර මෙන්ම තේරීම් කමිටු නිලධාරීහුද එඩිතර වූහ. එහි ප්‍රතිපලය වූයේ එම තරගයේදී ලකුණු 50 ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවීමයි. 
 
එය 1992 දී එස්. එස්. සී. පිටියේදී ඕස්ට්‍රේෙලියානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ සම්පූර්ණ කණපිට පෙරළීමකි.
 
ගාල්ලේදී ලකුණු 168 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කණ්ඩායම තරගයේ සිවුවැනි දිනය ආරම්භ කරන විට කඩුලු 2 කට 71 ක් ලබා සිටියේය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 97 ලබාගැනීමට දින දෙකක් මෙන්ම කඩුලු 8 ක්ද ඉතිරිව තිබිණ. එදින යැවූ පළමු පන්දුවෙන්ම මොහොමඞ් යූසුෆ් පිටියෙන් ඉවත් කළ රංගන හේරත්, තවත් පන්දු 3 කට පසුව ස්වීප් පහරක් සඳහා සල්මන් බට් පෙළඹවීය. ඉහළින් ගිය පන්දුව ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි සිටි තරංග පරණවිතානගේ දෑත් අතරේ සැඟව යන විට පාකිස්තානු පිලේ ලකුණු පුවරුව කඩුලු 4 ට 72 ක් ලෙසින් සටහන් විය. 
 
පාකිස්තානු පිලේ අවසන් කඩුලු 8 ම ලකුණු 46 කට බිම දැමූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වීරයා වශයෙන් රංගන හේරත් සම්මාන දිනාගත්තේ පන්දු 4 කදී තරගය කණපිට පෙරළා දැමූ බැවිනි. පාකිස්තානු දෙවැනි ඉනිමේදී ඔහුගේ පන්දු යැවීම 11.3-5-15-4 ක් ලෙසින් සටහන් විය. 
 
එතැන් සිට ශ්‍රී ලංකාවේ ටෙස්ට් දිනුමක් කොතැනද රංගන හේරත් එතැන සිටියේය. 2010 මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගත් පසුව රංගන හේරත් ශ්‍රී ලංකා ටෙස්ට් පිලට නැතිවම බැරි සාධකය විය. 
 
ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව 1999 සැප්තැම්බර් 22 වැනිදා ගාල්ලේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දිනයේ සිට 2009 ජූලි මාසය දක්වා, වසර 10 ක කාලයකදී, හේරත්ට ලැබී තිබුණේ ටෙස්ට් තරග 14 ක් පමණි. 
 
මුත්තයියා මුරලිදරන් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා පිලේ එකම දඟ පන්දු යවන්නා වූ හෙයින් අන්තර්ජාතික තරග සඳහා තමන්ට අවස්ථාවක් නොලැබෙන බව රංගන හේරත් වටහාගෙන සිටියේය. තිලාන් සමරවීර පවා සිය පළමු ටෙස්ට් තරගයට  සහභාගි වීමට පෙර අති දක්‍ෂ පිට දඟ පන්දු යවන්නකුව සිටි නමුත් පිට දඟ පන්දු යැවීම අතහැර දමා පිතිකරුවකු ලෙසින් තමන්ගේ ගමන් මඟ හදා ගැනීමට පසුව තීරණය කළේ මුත්තයියා මුරලිදරන් කණ්ඩායමේ සිටියදී දඟ පන්දු යවන්නකු වශයෙන් තමන්ට ස්ථානයක් නොලැබෙන බව හොඳින්ම වටහාගෙන සිටි බැවිනි. 
 
(ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිතිකරුවන් 7 ක් : පන්දු යවන්නන් 4 ක් විය යුතු බවත් පන්දු යවන්නන් සිවු දෙනා වේග පන්දු යවන්නන් 3 : දඟ පන්දු යවන්නන් 1 අනුපාතයට සකස් විය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ දීර්ඝ කාලීන න්‍යායක් විය) 
 
මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වූයේ කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වූ සනත් ජයසූරිය සාර්ථකව වමතින් දඟ පන්දු යැවිය හැකි වීමයි. ඇතැම් අවස්ථාවන්හිදී තිලාන් සමරවීර හෝ තිලකරත්න ඩිල්ෂාන්ද පන්දු යැවීමට ඉදිරිපත් වීම හේතුවෙන් අන්තර්ජාතික තරග වලදී දඟ පන්දු යවන්නකු වශයෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීම හේරත්ට සිහිනයක් පමණක් විය. එවන් තත්ත්වයක් යටතේ අන්තර්ජාතික තරග පිළිබඳ බලාපොරොත්තු සියල්ලම අතහැර දමා එංගලන්තයේ ලීග් ක්‍රිකට් සොයා යාමට රංගන තීරණය කිරීමත් පුදුමයක් නොවේ. 
 
කවුරුන් කුමන තීරණ ගත්තත්, කාලයේ බලපෑමට යටත්වීමට සියලු දෙනාටම සිදුවීම ලෝක ස්වභාවයයි. 2009 දුරකතන ඇමතුමද කාලයා විසින් කරන ලද බලපෑම මත ගන්නා ලද තීරණයකි. 
 
රංගන හේරත් නම් වූ මෙම නිහතමානී ප්‍රවීනයා ‘හේරා’ වන්නේ ඔහුගේ උප්පැන්න සහතිකයේ වාසගම ‘හේරත්’ ලෙසින් සටහන් වීම නිසාම නොවේ. රංගන හේරත් ‘හේරා’ වීමට වෙනම හේතුවක් තිබේ. 
 
මුත්තයියා මුරලිදරන් 1992 දී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකාව ලබා සිටියේ ටෙස්ට් ජයග්‍රහණ දෙකක් පමණි. එතැන් සිට මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනවූ ‘ආසියා’ විය. 
 
කාඞ් කුට්ටමේ කෙළිකාරයා ආසියාය. ආසියා අත නැතිව ගිය කල්හි ලොකුම හපනා ‘හේරා’ය. ආසියා අත නැතිව ගියද හේරා හරියට හසුරුවාගන්නේ නම් කාඞ් සෙල්ලම ජයගත හැකිය. රංගන ‘හේරා’ වන්නේ එබැවිනි. 
 
ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් දවාගැනීමේ අවස්ථා ගණන අනුව ඔහු දෙවැනි වන්නේ මුත්තයියා මුරලිරදන්ට (22) සහ ෂේන් වෝන් (10) දෙදෙනාට පමණි. ඉනිමකදී කඩුලු 5 ක් හෝ වැඩියෙන් දවාගැනීම අතින් හේරත් පසුපසින් සිටින්නේ මුත්තයියා මුරලිදරන් (67), ෂේන් වෝන් (37) සහ අනිල් කුම්බල්ට (35) පමණි. 
 
ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ලබාගත් එකම ජයග්‍රහණයේදී තරගයේ වීරයා වූයේත් රංගන හේරත්ය. පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් කඩුලු 100 ක් දවාගත් එකම ක්‍රීඩකයා වන රංගන හේරත් ටෙස්ට් කඩුලු 400 කඩයිම පසුකළ එකම වමත් දඟ පන්දු යවන්නාද වෙයි. ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලු 100 සම්පූර්ණ කිරීම සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් කඩුල්ලක් පමණි. මීට පෙර එවැන්නක් කර ඇත්තේද මුත්තයියා මුරලිරදරන් පමණි. 
 
‘හේරා’ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කීවේ මෙවන් කතාවකි. 
 
“රංගන අයියා කියන්නේ පුදුමාකාර විදිහට කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. එයා හැම තිස්සේම තරුණ ක්‍රීඩකයන්ට මඟ පෙන්වා දුන්නා. ඕනෑම වෙලාවක අභියෝගයක් බාර ගත්තා.....දඟ පන්දු යවන්නෙක් විදිහට අලුත් පන්දුවෙන් පන්දු යවන්න තියෙනවා නම් රංගන අයියා තමයි මිනිහා..ආයේ කිසිම පැකිළීමක් නෑ” 
 
“විශේෂයෙන්ම එයා පන්දු යැවීමේ බර තතියම කරට ගත්තා. කණ්ඩායමට ලකුණු ටිකක් ඕනෙ නම් ඒ වගකීමත් ගත්ත අවස්ථා ගොඩාක් තියෙනවා....එයාගේ හිදැස පුරවන්න නම් ලේසි වෙන එකක් නෑ” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. 
 
රංගනගේ පුනරාගමනය සිදුවූ 2009 ගාල්ල ටෙස්ට් තරගය ඇන්ජලෝ මැතිව්ස්ට ද අනුස්මරණීය තරගයකි. එය මැතිව්ස්ගේ මංගල ටෙස්ට් තරගයයි. 
 
රංගන හේරත් මුවර්ස් ක්‍රීඩා සමාජයට එක්වූයේත් අපූරු සිදුවීමකිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බාල සොහොයුරා වන චමින්ද හතුරුසිංහ සහ හේරත් නැව් සේවා සමාගමක සේවය කරමින් සිටියහ. 
 
“එයා සනත් ජයසූරිය වගේ බැට් කරන්නේ” යයි චමින්දගේ රෙකමදාරුව මත තමන් නායකත්වය දැරූ මුවර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණු සැසියකට එන ලෙස චන්දික හතුරුසිංහ හේරත්ට දන්වා යැවීය. 
 
රංගන හේරත් යන වඩාත් හොඳ පන්දු යවන්නකු බව හතුරුසිංහ වටහාගත්තේ පුහුණු දැළ තුළදීම ඔහුට මුහුණ දීමෙනි. පන්දු යවන්නකු වශයෙන් මුවර්ස් පිලට එක්වීමත් සමගම රංගනගේ දායකත්වයෙන් මුවර්ස් පිලට ජයග්‍රහණ රැසක්ම ලැබිණ. 90 දශකයේ අග භාගයේදී රංගන හේරත් සෑම තරගාවලියකදීම පාහේ මුවර්ස් පිල වෙනුවෙන් කඩුලු 50 කට ආසන්න සංඛ්‍යාවක් දවාගත් අතර “සත පණහේ බෝලය” එහි රහස විය. 
 
‘සත පණහේ’ බෝලය ලෙසින් හැඳින්වූණේ වමතේ ඇඟිලි දෙකක් යොදා ගනිමින් දකුණත් පිතිකරුවාගේ කඩුල්ල තුළට දඟ කැවෙන පන්දුවකි. එය වරෙක කඩුල්ල එල්ලයේම වැටී පහතින් කඩුල්ල දෙසට ඇදී ගියේ විනිසුරුවරයාට ඇඟිල්ල එසවීම පමණක් ඉතිරි කරමිනි. 
 
“මම ඉන්නේ ස්ලිප් එකේ. රංගන පන්දු යවනවා නම් එයා අතේ ඇඟිලි දෙකක් යා කරමින් ‘සත පණහේ’ කාසිය පෙන්වනවා. එතකොට අපි කතා වෙනවා ‘සත පණහ’.....‘සත පණහ’ කියලා. ඒත් අනෙක් ටීම් එකේ අය දන්නේ නෑනේ මේක මොකක්ද කියලා...බොහෝ වෙලාවට පිතිකරුවා අහු වෙනවා. මොකද අපි සූදානමින් ඉන්න නිසා” යයි චන්දික හතුරුසිංහ මහතා 90 දශකය අග භාගයේදී ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ තරග අත්දැකීම් සිහිපත් කරමින් කීවේය. 
 
2000 දශකය ආරම්භයේදී මුවර්ස් පිලේ නායකත්වය හේරත්ට පැවරූ චන්දික හතුරුසිංහ කණ්ඩායමට ගුරුහරුකම් දෙමින් රංගන හේරත්ගේ නායකත්වය යටතේ මුවර්ස් ක්‍රීඩා සමාජය සිය පළමු වැනි පළමු පෙළ ශූරතාව දිනාගත් ආකාරයත් බලා සිටියේය. 
 
‘සත පණහේ පන්දුව’ හේරත්ට කොයි තරම් ප්‍රයෝජන වූවාද යත් මුවර්ස් පිල වෙනුවෙන් දැක්වූ සාර්ථක දස්කම් නිසාම 1999 සැප්තැම්බර් මාසයේදී ‘සත පණහේ පන්දුව’ විසින් ටෙස්ට් පිටිය දක්වාම හේරත් කැඳවාගෙන යන ලදි. 
 
ගාල්ලේදී පැවැති එම තරගයේ මුල් ඉනිමේදී කඩුල්ලක් දැවී ලකුණු 160 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් හමුවේ ඕවර 28.3 කදී ලකුණු 68 කට කඩුලු 9 ක් අහිමි කරගත්තේය. තරගයේ දෙවැනි දින සන්ධ්‍යාවේ ලකුණු 28 කට කඩුලු 4 ක් අහිමි වී යන දෙස බලා සිටි ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් වෝ ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් දෙදෙනා හමුවේ සිදුවීමට යන දේ කල්ඇතිවම දුටුවේය. 
 
ඒ වන විටත් අස්ගිරියේ තරගය පරාජය වී සිටි ඕස්ටේ්‍රලියානු නායකයා මාධ්‍ය හමුවේ කියා සිටියේ “එක්කෝ අපි පීනන්න ඕනේ....නැත්නම් ගිලිළා මැරෙන්න ඕනේ...අපට තියෙන්නේ මේ විකල්ප දෙකින් එකයි” යනුවෙනි. 
 
සිවුවැනි දිනයේදී ගාල්ල ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වැසි දියෙන් පිරී ගිය හෙයින් ඕස්ටේ්‍රලියානුවෝ පිහිනා ගොඩ ගියහ. 
 
විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වීමත්, අයි. පී. එල්. බූවල්ලා විසින් ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කරනු ලැබීමත් සමගම බොහෝ ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් හැරදමා විස්සයි-20 ක්‍රිකට් තෝරා ගත්හ. ටෙස්ට් තරගයකදී එක දිගට ඕවර 15 ක් හෝ 20 ක් යවා දිනය පුරාම හෝ දින දෙකක්ම පිටියේ පන්දු අහුලනවා වෙනුවට ඕවර 4 ක් යවා තවත් ඕවර 16 ක් පමණක් පන්දු යැවීම පහසු කාරියකි. එබැවින් විස්සයි-20 ක්‍රිකට් කම්මැලියන්ට කදිම කාන්දමක් විය. එහෙත් රංගන හේරත් ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් සිතන්නට විය. 
 
“එක්දින හා විස්සයි-20 තරග වලට මාව තෝරා නොගන්නේ මොකක් හරි හේතුවක් තියෙන නිසා වෙන්න ඇති” ය යන්න ඔහුගේ සිතිවිල්ල විය. ඔහු ඒ ඔස්සේ සිය අවධානය යොමු කළේය. එය සාර්ථක ගමනක් විය. 
 
එක්දින තරග වලදී හේරත් එතරම් විශල යමක් කළ ක්‍රීඩකයකු නොවේ. එක්දින තරග 71 කදී හේරත් විසින් දවාගනු ලැබ ඇත්තේ කඩුලු 74 ක් පමණි. එහෙත් 2014 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති එක්දින තරගාවලි තුනේ තරග 12 කදී කඩුලු 25 ක් දවාගෙන සිටි රංගන හේරත් නොසලකා හැරීමේ ඉඩක් තේරීම් කමිටුවට නොතිබිණ. 
 
“එයාගේ දණහිස් දෙකම ඔපරේෂන් කරලා තියෙන්නේ. මිනිහව ගෙනියන්න අපිට ටිකක් බයයි තමයි. අපි කෝකටත් තවත් වමත් දඟ පන්දු යවන්නෙක් සූදානම් කරගෙනයි ඉන්නේ.........ඒත් රංගනගේ අත්දැකීම් ටික ආයේ කොහෙන්වත් හොයන්න බෑ. ඒ නිසා එයාව හරිම වටිනවා” යයි 2014 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හමුවූ අවස්ථාවක පැවසීය. 
 
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඇතුළු තේරීම් කමිටු සාමාජිකයන්ගේ මෙන්ම කණ්ඩායමේ එවකට සිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේත් දුර දක්නා නුවණ මෙන්ම හේරත් සම්බන්ධයෙන් තිබූ වැටහීම 2014 දී ශ්‍රී ලංකා පිල විස්සයි-20 ලෝක කුසලානය දිනාගැනීමේ තීරණාත්මක සාධකයක් විය. 
 
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට සහ නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරග දෙකම ජයගත්තේය. එහෙත් එංගලන්තය හමුවේ පරාජය වීම නිසා තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ ජයග්‍රහණය කළ යුතුවම තිබිණ. 
 
පෙර තරග වලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්ව සිටි බැවින් ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වය බාර ගත්තේය. ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න සැලකිල්ලට ගනිමින් අජන්ත මෙන්ඩිස් වෙනුවට රංගන හේරත් කණ්ඩායමට කැඳවන ලදි. එය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඔහුගේ පළමු තරගයද විය. 
 
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පන්දු යැවීම තෝරාගත් අතර ශ්‍රී ලංකා පිල ඕවර 19.2 කදී ලකුණු 119 කට දැවී ගියේ ජයග්‍රහණයේ බලාපොරොත්තු සී සී කඩ විසුරුවා දමමිනි. 
 
විස්සයි-20 තරගයකදී ලකුණු 120ක් ලබාගැනීම සම්බන්ධයෙන් කවර කතාද ? ඕවරයකට අවශ්‍ය වන්නේ ලකුණු 6 ක් පමණි. නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා විසින් යවන ලද පළමු ඕවර තුනේදී නවසීලන්ත පිතිකරුවෝ කඩුලු රැකගනිමින් ලකුණු 18 ක් ලබාගත්හ. අවශ්‍ය වේගය රඳවා ගැනිණ. 
 
රංගන හේරත් පන්දු යැවීම ආරම්භ කළා පමණි. සිව්වැනි ඕවරයේ පළමු පන්දුව මිඞ් ඕන් දෙසට තල්ලු කළ මාටින් ගප්ටිල් ලකුණක් කරා දිව ගියද කේන් විලියම්සන් සූදානමින් නොසිටියේය. සැණෙකින් පිටිය හරහා දිවගිය හේරත් පන්දුව අහුලා විදුලි වේගයෙන් සංගක්කාර වෙත යැවීය. කඩුල්ලට ලැබුණු පන්දුව රැකගත් සංගක්කාරට තිබුණේ බේල්ස් ඉවත් කිරීම පමණි. 
 
එතැන් සිට රඟදැක්වුණේ ඇදහිය නොහැකි නාට්‍යයකි.  ඒ ගැන වටහාගන්නට නම් තරගයේ වීඩියෝ පටය සොයාගෙන නැරඹිය යුතුය. 
 
ලකුණු 120 පහසු ඉලක්කයක් කරා ගිය නවසීලන්ත පිල ලකුණු 60 කට දැවී ගියේය. එය අදටත් විස්සයි-20 අන්තරජාතික තරග වලදී වාර්තා වන සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. ‘හේරා’ගේ පන්දු යැවීම සටහන් වූයේ 3.3-2-03-5 ක් වශයෙනි. 
 
මෙම තරගයෙන් පසුව එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි පුහුණුකරුවා වූ පෝල් ෆාබ්‍රේස් මහතා (වත්මන් එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවා) රංගනගේ පන්දු යැවීම පිළිබඳ අපූරු රහසක් හෙළි කළේය. 
 
“දඟ පන්දු යැවීම සම්බන්ධයෙන් ඔහුගේ නිපුණත්වය හරිම සූක්‍ෂමයි. තණතීරුවේ පවතින වේගයට හා ඉපිළීමට සාපේක්‍ෂව තමන්ගේ අත කොයිතරම් වේගයෙන් කරකවන්න ඕනද කියන එක රංගන හරියටම දන්නවා. එයාගේ පන්දු හමුවේ පිතිකරුවන් මුළාවේ වැටෙන ප්‍රධානම කාරණය ඒකයි” 
 
“දඟ පන්දු යවන්නන් වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒත් තමන්ගේ අත කරකවන්න ඕන කොයි තරම් වේගයෙන්ද කියන එක වටහාගන්න හැමෝටම බෑ....අත කරකැවීමේ වේගය දඟ පන්දු යවන්නකුට ඉතාම වැදගත්” යයි ෆාබ්‍රේස් මහතා චිතගොන් නුවරදී පැවැසීය. 
 
2007 ත් 2014 ත් අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරග 5 කට සහභාගි විය. ඒවායින් තරග 4 කදීම ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථ වූවත් රංගන හේරත් ක්‍රීඩා කළ 2014 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එය එම තරගයට සහභගි වූ සුවිශේෂී ක්‍රීඩකයන්ට දෙවියන් දුන් ත්‍යාගයක් විය. 
 
දෙවියන්ගේ ත්‍යාගය සම්බන්ධයෙන් කොදෙව් නායක ඩැරන් සැමී කල්තියාම දැන සිටියේය. ශ්‍රී ලංකා - කොදෙව් තරගයට වර්ෂාව අවහිර කිරීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදීම ඩැරන් සැමී ඒ ගැන කීවේය. 
නවසීලන්තයට එරෙහිව ලකුණු 59 ක දිනුමක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එතැන් සිට සිදුවූ දේ ඉතිහාසයේ ලියැවී තිබේ. එය නැවත නැවතත් කියවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බරය වඩවන්නකි. එය අද මෙන්ම අනාගතයේදීත් එලෙසම වනු ඇත. 
 
රංගන හේරත් සම්පත් බැංකුවේ සේවය කළේය. එහෙත් සාමාන්‍ය බැංකු සේවකයකුට  මෙන් බැංකුවේ වෙහෙසකර කටයුතු පවරා රංගන හේරත්’ නම් ක්‍රිකට් ක්‍රීඩකයා විනාශ නොකිරීමට සම්පත් බැංකුව ගත්තේ රටක් වටින තිීරණයකි. එබැවින් ශ්‍රී ලංකාවේ තරග නොපැවැත්වෙන අවස්ථාවලදී සම්පත් කාඞ් මධ්‍යස්ථානයේදී පෙරවැරු 9.00 සිට 5.00 දක්වා සාමාන්‍යය කටයුතු වල නිරත වීමට හේරත්ට අවස්ථාව ලැබිණ. 
 
“ඒ සම්බන්ධයෙන් මම සම්පත් බැංකුවම ඉතාමත් කෘතවේදී වෙනවා. අමාරු අවස්ථාවලදී අපට උදව් කරන අය මතක තබාගැනීම වැදගත්. සම්පත් බැංකුවත් මට ඒ වගේ” යයි රංගන හේරත් පැවසීය. 
 
මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරම් නායකයන් මාරු කළ වෙනත් කණ්ඩායමක් නොතිබිණ. නායකයාට එක්කෝ ශාරීරික ආබාධයක. නැතිනම් තරග තහනමකි. මේ සියලු අවස්ථාවන්හිදී ටෙස්ට් පිලේ නායකත්වයට උරදුන් හේරත් ටෙස්ට් තරග 5 කදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරමින් එයින් තරග 3 ක ජය සිය මව්බිමට හිමිකර දී තිබේ. 
 
කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රංගන 17 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේත් මලියදේවයේ සිටියදීමය. පාසල් වියේදී පිතිකරුවකු ලෙසින්ද දස්කම් දැක්වූ ‘හේරා’ පසුකාලීනව දඟ පන්දු යවන්නකු බවට පරිවර්තනය විය. 
 
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මොනයම් ආකාරයේ සාර්ථකත්වයක් ලැබුවද ඒ සෑම සාර්ථකත්වයක් පිටුපසම දැවැන්ත සෙවණැල්ලක් වූයේ පාසල් ක්‍රිකට් පද්ධතියත්, පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙතින් ක්‍රීඩකයන් ලබන දැඩි හික්මීමත් මිස අනෙකක් නොවේ. රංගන හේරත් තුළ කීකරුකම, විනය මෙන්ම සුහදත්වයත් නොඅඩුවම තිබිණ. එය ඔහු අන්තර්ජාතික තරග වලට සහභාගි වූ 1990 දශකය අග සිට මේ දක්වාම නොනැසී පවතින, කැපී පෙනෙන විශේෂත්වයකි. ඒ සම්බන්ධයෙන් ඇතුගල්පුර මලියදේවයටත් එහි ක්‍රිකට් ක්‍රීඩාවට දායක වූ සියලු දෙනාටත් ආඩම්බර වීමට බොහෝ කරුණු කාරණා තිබේ.
 
‘ආසියා’ සමුගෙන වසර 8 කි. මේ සතියෙන් පසු ‘හේරාත්’ සමුගනී. 
දැන් ඉතින් දිනන්නට නම් වෙනත් තුරුම්පු සොයාගත යුතුමය. එතෙක් හේරා නැති අඩුව දැනෙනු වැළැක්විය නොහැකිය. 
 
 
 
 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...