. ක්‍රිකට් දූෂණ හෙළිකරන්න සහන කාලයක් | කෙළිමඬල
2019 මාර්තු මස 26 වැනි අගහරුවාදා
ක්‍රිකට් දූෂණ හෙළිකරන්න සහන කාලයක්
2019-01-10 15:01:54 | යොහාන් භාසුර

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දූෂණ හා වංචා පිළිබදව දැනුවත් කිරීම සඳහා ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සති දෙකක සහන කාලයක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ නියෝජිත ස්ටීව් රිචඞ්සන් මහතා ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී ඊයේ (09) පෙරවරුවේ පැවැති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනේදී මෙය හෙළි කළේය. 

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රීඩකයෝ රැසක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහූද සහභාගි වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙම සති දෙකක කාලය පිළිබඳව මෙසේ පැවසීය.    

“මේක විශේෂ අවස්ථාවක්. සමහර ක්‍රීඩකයන්ට කිසියම් පුද්ගලයකු දූෂණයකට සම්බන්ධ වෙන්න කියලා යෝජනා කළත් අදාළ ක්‍රීඩකයා හෝ කණ්ඩායම් කළමනාකාරිත්වයේ නිලධාරියකු ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනයට හෝ අන්ත්ර්ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දී නැත්තනම් එය දැනුම්දීමට සති දෙකක කාලයක් දී තිබෙනවා...මෙම කාලවකවානුව තුළ දැනුම් දුන්නොත් ඒ සම්බන්ධයෙන් දඩුවම් පනවන්නේ නෑ”

“එම සති දෙකක කාලය තුළ අයි.සී.සී. නියෝජිතයකු සමඟ විශේෂ කමිටුවක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා” යැයි ද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය. 

එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩකයන්ට අයිති බවත් ක්‍රීඩාව පිරිසිදු කිරීමට නම් සියලු දෙනාම එක් වියයුතු බවයි. 

“අපිට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් සති දෙකක සහන කාලයක් ලබා දුන්නා. මේ සති දෙකක කාලයක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වාගෙන යනවා”

“ඔබලා ක්‍රිකට්වලට සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබදව දන්නවානම් ඒ කාර්යාලය වෙත ගොස් තොරතුරු ලබා දෙන්න පුළුවන්. මගේ වගකීම යුතුකම තමා ඒ තොරතුරු ලබා දෙන ඔබව රැකගන්න එක. මම ඔබට ආරක්ෂාව ලබා දෙනවා. ”

“මම නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා. මම හිතනවා මාර්තු වන විට පාර්ලිමේන්තුවට යොමු කළාට පසුව නීතියක් සම්මත වෙනවා ලංකාවේ යම්කිසි ක්‍රිකට් දූෂණ සිද්ධියකට වැරදිකරුවකු වන පුද්ගලයෙක්ට වසර පහක් දක්වා සිර දඩුවමක් ද, විශාල මුදලක් දඩයක් ද, පනවන්න” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. 
මෙම දැනුම්වත් කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලාන්නද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ නියෝජිත ස්ටීව් රිචඞ්සන් යන මහත්වරු ද සහභාගි වූහ.

ඡායාරූපය:  දැනුවත් කිරීමේ වැඩසටහන සහභාගි වී සිටි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කොටසක් 


 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...
අන්තර් පළාත් එක්දින තරගාවලිය 4 වැනිදා සිට...
2019-03-20 16:28:31
  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා ද...