. නායකත්වය වෙනස් කරන්න’යි තිසර කියයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
නායකත්වය වෙනස් කරන්න’යි තිසර කියයි
2019-01-30 18:00:14 | ..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරය ඇතුළත එකමුතුබව මෙන්ම ස්ථාවරත්වය ඇතිකිරීමට සඳහා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය වහම වෙනස් කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දන්වා තිබේ. නවසීලන්ත සංචාරයේදී ලසිත් මාලිංග නායකත්වය බාරගත් දා සිටම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කිසිම එකමුතුකමක් නැති බවත් කණ්ඩායම බෙහෙවින් අස්ථාවර තත්ත්වයක පවතින බවත් පවසන තිසර පෙරේරා ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම වෙනස්කම කළ යුතුව තිබෙන බවත් සිය ලිපියෙන් පෙන්වා දෙයි.

“අපි මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ආසන්නයටම පැමිණ සිටිමු. මේ වෙලාවේ අපේ කාර්යය විය යුත්තේ සමාජ මාධ්‍යවල පළවන දේ සම්බන්ධයෙන් නිකරුනේ කලහ කරමින් ඉන්නවාට වඩා කණ්ඩායම වෙනුවෙන් හොඳින් දස්කම් දැක්වීමයි. මේ වෙලාවේ කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් වගේම මඟ පෙන්වීමද ඉතා විශාල වශයෙන් ඕනෑ කර තිබේ”

“ඉතාම වැදගත් කාරණය වන්නේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරය ඇතුළත තිබිය යුතු එකමුතු කමයි. ඒත් අපට නැත්තේත් ඒකමයි. ලෝක කුසලාන තරගාවලියට පෙර මේ තත්ත්වය නිවැරදි කළ යුතුව තිබේ” යයි 2019 ජනවාරි 26 වැනිදා තිසර පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට යවන ලද ලිපියේ සටහන් වේ.

නවසීලන්ත සංචාරය සඳහා පිටත්ව යාමේදී ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් තුනේම නායකයාව සිටියේ දිනේෂ් චන්දිමාල්ය. එහෙත් අසන්ත ද මැල් මහතාගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුව පත්කිරීමෙන් පසුව එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකේම නායකත්වය චන්දිමාල්ගෙන් ඉවත් කර ලසිත් මාලිංග වෙත පරන ලදි. මේ අතරවාරයේදී සාමාජ මාධ්‍ය ජාල අතරේ තමන් අධෛර්යයට පත්කරන ආකාරයේ අදහස් පළකළේ යයි කියමින් තිසර පෙරේරා විසින් ලසිත් මාලිංග සහ ඔහුගේ බිරිඳ ප්‍රසිද්ධියේම විවේචනය කරන ලදි.

මෙම අසෝබන අදහස් හුවමාරුවීම් ආරම්භ වූයේ දෙසැම්බර් 21 වැනිදාය.

ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් දීමත් සමගම ක්‍රීඩකයෙක් චීත්තයක් ඇඳගෙන ක්‍රීඩා ඇමතිවරයාග් නිවසට ගොස් චාටු කතා කී බව හඟවා මුහුණු පොතේ අදහස් පළකර තිබිණ. එහිදී තිසර පෙරේරා ඉලක්ක වී තිබුණු බවද කියැවේ.

ඊට ප්‍රතිචාර වශයෙන් “සිංහ හමක් පොරවාගත් පළියට නරියෙක් කවදාවත් සිංහයෙක් වෙන්නේ නෑ. කට ඇරියාම ඌ නරියෙක්ම තමා” යයිද මුහුණු පොතේ පළවී තිබිණ.


තිසර පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වෙත යවන ලද ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළවේ.

ඇෂ්ලි ද සිල්වා මහතා
ප්‍රධාන විධායක නිලධාරි
ශ්‍රී ලංකා ක්‍රිකට්
35, මේට්ලන්ඞ් පෙදෙස
කොළඹ 07

2019 ජනවාරි 26 වැනිදා
මහත්මයාණෙනි,

මා මෙම ලිපිය ලියන්නේ මහත් කණගාටුවෙනි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වශයෙන් කණ්ඩායමේ උන්නතිය ද වෙනුවෙනි.

ඔබතුමන් මේ වන විටත් දන්නා පරිදි, ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් නායක ලසිත් මාලිංගගේ බිරිඳ වන ටාන්යා පෙරේරා මහත්මිය විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මා ඉලක්ක කරමින් පළකරන ලද අදහස් බොහොමයකි. මගේ බිරිඳත් මමත්, ඉතා අසීරුවෙන් මේවා ඉවසාගනිමින් නිහඬව සිටියේ ක්‍රීඩාවටත් විශේෂයෙන්ම ලසිත් මාලිංගටත් තිබෙන්නාවූ ගෞරවය හේතුවෙනි.

එසේ වුවත්, අප නවසීලන්තයේ සිටියදී, මෙම තත්ත්වය වඩාත් අඳුරු ස්වරූපයක් ගත්තේ තරගාවලියක් අතරමැද දීය. මේ හේතුවෙන් මා විඳි මානසික වධය සහ අපහසුතාව වචනයෙන් විස්තර කිරීම අපහසුය.
නායකත්වයට නැවතත් පත්කරන ලෙස ඉල්ලමින්, උසස් නිලධාරීන් පසුපසද, ක්‍රීඩා ඇමතිවරයා පසුපසද මම ගියේ යැයි මට චෝදනා කෙරිණ. එහෙත් මා සෑම විටම තේරීම් ක්‍රමවේදය කෙරෙහි විශ්වාසය තැබුවා මිස, කිසියම් අවස්ථාවක මා කණ්ඩායමෙන් නෙරපනු ලැබුවද, ඒ සම්බන්ධයෙන් හෝ ප්‍රශ්න කර නැත්තෙමි. මා වෙනුවෙන් උපකාර කරන ලෙසද ඉල්ලා නැත්තෙමි. එසේ වුවත් මා නැවතත් ජාතික කණ්ඩායමට කැඳවූ අවස්ථාවේදී මගේ කැඳවීම වෙනුවෙන් සාධාරණය ඉටුකර ඇති බව මම විශ්වාස කරමි. වසර 2018 දී ක්‍රීඩකයකු වශයෙන් මගේ දස්කම් විශ්ලේෂණය කිරීමෙන් එය තහවුරු වනු ඇත.

වැඩිදුරටත් කියන්නේ නම්, මම වගකීම් පැහැර හැර නැත්තෙමි.

ශ්‍රී ලංකා කණ්ඩායම විදේශ සංචාරයක (පාකිස්තානයට) යාමට නියමිතව තිබූ අවස්ථාවලදී, වෙනත් කිසිවකු ඉදිරිපත් නොවූවද නායකත්වය සඳහා මම ඉදිරිපත් වූයෙමි. සංචාරයකට යාමට වඩා, ඒ අවස්ථාවේදී මගේ රට නියෝජනය කරමින්, අපගේ අසල්වාසී රටක් වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව ලැබීම මම ගෞරවයක් කොට සලකන බව කීමටද මම කැමැත්තෙමි. ඒ වන විට ක්‍රිකට් සංචාර අහිමිව සිටි අපගේ අසල්වාසීන්ට නැවතත් අන්තර්ජාතික තරග ගෙන ඒම ආරක්‍ෂාකාරී යයි ප්‍රකාශ කිරීමට එම සංචාරය උදව්වක් විය.

ඒ කෙසේ වෙතත්, දැනට සිටින නායකයාගේ බිරිඳ විසින් සමාජ ජාල ඔස්සේ මෙවැනි චෝදනා ගෙන එන කල්හි, පොදු මහජනතාව ඒවා විශ්වාස කරමින්, නොයෙක් ආකාරයෙන් මට ප්‍රහාර එල්ල කිරීම නවත්වාලිය හැකි නොවේ. පීඩනය කොතෙක්ද යත් යම් ආකාරයකින් එක තරගයකදී හෝ මා අසාර්ථක වූයේ නම් ඊළඟ තරගයේදී මාව කණ්ඩායමෙන් ඉවත් කරන බවට කිසිදු සැකයකින් තොරවම මම දැන සිටියෙමි.

අවංකවම ප්‍රකාශ කරන්නේ නම්, එදා සිටම, ක්‍රීඩකයන්ගේ විවේක කාමරයේදී සියල්ලෝම මහත් අපහසුතාවකින් සිටිති. ජ්‍යෙෂ්ඨයන් එකනෙකා සමග එකඟ නොවන විට තරුණ ක්‍රීඩකයන්ට එහි පීඩනය තදින් දැනේ. අපට දැන් ක්‍රීඩා කරන්නේ භේද භින්න වූ කණ්ඩායමක් ලෙසිනි.

නායකත්වයේ වගකීම වන්නේ කණ්ඩායම තුළ එකමුතු බව සහ ස්ථාවරත්වය ඇතිකිරීමයි. කිසියම් තරගයක් සම්බන්ධයෙන් සැලැස්මක් සාකච්ඡා කිරීමට පෙරම එය කළ යුතුව තිබේ. එහෙත් මේ අවස්ථාවේදී එයින් එකක්වත් අපට නැති බව මා කියන්නේ කණගාටුවෙනි.

මට එරෙහිව එන ප්‍රහාර දරා ගැනීමට මට සිදුවූයේ කණ්ඩායම සම්බන්ධයෙන් මගේ අරමුණ කුමක්ද යන්නත් විස්තර කරමිනි. පරාජය වීමේ අරමුණ ඇතිව කිසිවකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකරයි. අපි අපට කළ හැකි හොඳම දේ කණ්ඩායම වෙනුවෙන් ඉටු කළෙමු. නවසීලන්ත සංචාරයේදී මගේ දස්කම් ඒ වෙනුවෙන් සාක්ෂි දරණු ඇත.

පෙරේරා මහත්මියගේ අදහස් දැක්වීමකින් අදත් මා ඉලක්ක කෙරී තිබේ. එය වෛරසයක් සේ පැතිර යමින්, මගේ සමාජ මාධ්‍ය ජාලයේත් පැතිරී ගියේය.

මම දන්නා පරිදි, මෙම අදහස් දැක්වීම් කෙරෙන්නේ මා අධෛර්යමත් කිරීමට මෙන්ම මගේ විශ්වාසනීයත්වය බිඳ දැමීමටය. එහෙත් මම මේ උගුලට අසු නොවෙමි. එසේ කීවද, මා ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වයට මැදිහත් වී මහත් ගරුනම්බු ලබන මහජන සංඛේතයකින් කෙරෙන මෙම ළදරු හැසිරීම නවතා දැමීමට උත්සුක වන ලෙසයි.

අපි මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ආසන්නයටම පැමිණ සිටිමු. මේ වෙලාවේ අපේ කාර්යය විය යුත්තේ සමාජ මධ්‍යවල පළවන දේ සම්බන්ධයෙන් නිකරුනේ කලහ කරමින් ඉන්නවාට වඩා කණ්ඩායම වෙනුවෙන් හොඳින් දස්කම් දැක්වීමයි. මේ වෙලාවේ කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් වගේම මඟ පෙන්වීමද ඉතා විශාල වශයෙන් ඕනෑ කර තිබේ.

ඉතාම වැදගත් කාරණය වන්නේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරය ඇතුළත තිබිය යුතු එකමුතු කමයි. ඒත් අපට නැත්තේත් එකමයි. ලෝක කුසලාන තරගාවලියට පෙර මේ තත්ත්වය නිවැරදි කළ යුතුව තිබේ.  

අප ඉදිරියට යා යුත්තේ කණ්ඩායමක් වශයෙනි. භේද භින්න වූ පාර්ශ්වයන් ලෙස නොවේ. නායකත්වය මෙන්ම ජ්‍යෙෂ්ඨයෝත් මෙහිදී අන්‍යන්ට ආදර්ශයක් විය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නේ නම් ඊට මුහුණදීමට මම සූදානම් බවද දන්වනු කැමැත්තෙමි.
කණ්ඩායම් කළමණාකාරීත්වය හමුවේ මගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් මම ඔබට ස්තුති කරමි.

අත්සන් කළේ
තිසර පෙරේරා

 

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...