. වේල්ස් කුමර - ශා. සෙබස්තියන් කරට කර | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
වේල්ස් කුමර - ශා. සෙබස්තියන් කරට කර
2019-03-14 14:24:17 | ශානුක අරවින්ද

ජාතික කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් දායාද කළ මොරටුවේ පිහිටි ප්‍රධානතම පාසල් දෙකක් වන ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර වාර්ෂිකව සංවිධානය කෙරෙන මහ ක්‍රිකට් තරගය, 69 වැනි වරටත්, හෙට සහ අනිද්දා (15 සහ 16) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ‘මොරටු රන් සටන’ ලෙසින් හැඳින්වෙන මෙම තරගයෙන් අනතුරුව 34 වැනි වරටත් පැවැත්වෙන එක්දින තරගය 17 වැනි ඉරිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 68 න් තරග 6 ක් ජය ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් වී තිබේ. තරග 3 ක් ජය ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්ව ඇත. සෙසු තරග සියල්ල ජය පැරදුමකින් තොරව නිමාවට පත්වී ඇත. 

මෙතෙක් පැවති එක්දින තරග 33 න් 17 ක් ජයගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් වී ඇති අතර තරග 13 ක ජය වේල්ස් කුමර විදුහලට හිමිව තිබේ. එක්දින තරග 2 ක් විසඳුමකින් තොරව අවසන් වී ඇති අතර තරගයක් සම වී තිබේ. 

මෑත කාලයේදී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස් සහ ළහිරු තිරිමාන්න වේල්ස් කුමර විදුහලේ ආදි සිසුන් වන අතර විශ්ව ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු සහ අවිෂ්ක ප්‍රනාන්දු යන තිදෙනාම ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෝ වෙති. 

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නුවනිඳු ප්‍රනාන්දුට හිමිව තිබේ. සුවත් මෙන්ඩිස් වේල්ස් කුමර විදුහල් කණ්ඩායම මෙහෙයවයි. තෂික් පෙරේරා ශාන්ත සෙබස්තියන් පිලේද ප්‍රින්ස් ප්‍රනාන්දු වේල්ස් කුමර පිලේද උප නායකයෝ ලෙස කටයුතු කරති. 

මෙම විදුහල් දෙකම මෙවර ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති. අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ශාන්ත සෙබස්තියන් විදුහලත්, මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව වේල්ස් කුමර විදුහලත් තරග වැදීමට නියමිත අතර එම තරග ජයගතහොත් සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර අවසන් පූර්ව තරගයක්ද පැවැත්වෙනු ඇත. 

මෙවර තරග සමයේදී තරග 20 කට සහභාගි වී ඇති ශාන්ත සෙබස්තියන් විදුහල ඉන් තරග 4 කදී පූර්ණ ජයග්‍රහණ අත්කරගෙන ඇති අතර තරගයක් පරාජයට පත්වී තිබේ. එහිදී ඔවුන් ලබා ඇති පළමු ඉනිමේ ජයග්‍රහණ සංඛ්‍යාව 9 කි. 

මාතර ශන්ත සර්වේශස්, කෑගල්ල ශාන්ත මරියා, මීගමුව මාරිස්ටෙලා සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල් වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබූ සෙබස්තියන් විදුහල, පරාජයට පත් වූයේ තර්ස්ටන් විදුහල හමුවේ පමණි. 

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින දකුණත් පිතිකරු දුනිත් ජයතුංග ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1100 කි. දකුණතින් පිත්ත හසුරුවන නායක නුවනිඳු ප්‍රනාන්දු අර්ධ ශතක 6 ක් සමග ලකුණු 720 ක්ද, ජනිෂ්ක පෙරේරා ශතකයක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 685 ක්ද, නිසිත අභිලාෂ් අර්ධ ශතක 3 ක් සමග ලකුණු 676 ක්ද රැස්කරමින් පිතිකරුවන් අතර ඉදිරියේ සිටිති.  

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් මෙවර තරග සමයේදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගැනීමට සමත්ව ඇත්තේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක විනූජ රණසිංහයි. ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 67 කි. පිට දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන නදීර ප්‍රනාන්දු කඩුලු 29 ක්ද, ප්‍රවීන් කුරේ කඩුලු 28 ක්ද බිඳහෙළමින් ශාන්ත සෙබස්තියන් පන්දු යවන්නන්ගේ බළෑණිය තවත් සවිමත් කරති. 

මෙවර තරග සමයේදී තරග 15 කට සහභාගි වී ඇති වේල්ස් කුමර විදුහල ඉන් තරග 4 කදී පූර්ණ ජයග්‍රහණ අත්කරගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්වී තිබේ. එහිදී ඔවුන් ලබා ඇති පළමු ඉනිමේ ජයග්‍රහණ සංඛ්‍යාව 6 කි. කෝට්ටේ ජනාධිපති, කොළඹ ඉසිපතන, කොළඹ ඩී.එස්. සේනානායක සහ කඳාන මැසිනොද් යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා ඇති වේල්ස් කුමර විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට සහ කොළඹ මහනාම විදුහලට එරෙහිව පැවැති තරගවලදී පරාජයට පත්ව තිබේ. 

වේල්ස් කුමර විදුහල් කණ්ඩායමේ නායක සුවත් මෙන්ඩිස් වමතින් පිත්ත හසුරවමින් අර්ධ ශතක 5 ක් සමග ලකුණු 620 ක් රැස්කරගෙන සිටින අතර දකුණතින් පා දඟ පන්දු යවමින් කඩුලු 61 ක්ද බිඳහෙළා සිටියි. සිය කණ්ඩායමේ වැඩිම ලකුණු ලභීන් අතර පෙරමුණේ පසුවන මෙන්ඩිස්, වැඩිම කඩුලු අතර දෙවැනි වන්නේ කෞමාල් නානායක්කාරට පමණි. 

මෙවර තරග සමය තුළදී ලකුණු 500 සීමාව ඉක්මවා යෑමට තවත් වේල්ස් කුමරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති. ඔවුන් තිදෙනාද වමත් පිතිකරුවෝ වෙති. එහිදී දේවක පීරිස් අර්ධ ශතක 4 ක් සමග ලකුණු 574 ක්ද, තරිඳු අමරසිංහ ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 550 ක්ද, විනුජ රන්පුල් අර්ධ ශතක 4 ක් සමග ලකුණු 530 ක්ද ලබා සිටිති. උප නායක ප්‍රින්ස් ප්‍රනාන්දු අර්ධ ශතක 4 ක් සමගින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 450 කි. 

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර මෙවර තරග සමයේදී කඩුලු 103 ක් දවාගැනීමට සමත්ව ඇත්තේ එක් තරග සමයක කඩුලු 100 සීමාව පසුකළ දෙවැනි වේල්ස් කුමරුවා ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. ඔහුට අමතරව දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩකයන් වන නදුක ප්‍රනාන්දු සහ විනුජ රන්පුල් පිළිවෙලින් වේල්ස් කුමර විදුහල වෙනුවෙන් කඩුලු 32 ක් සහ 22 ක් බැගින් දවාගැනීමට සමත්ව සිටිති. 

POW

වේල්ස් කුමර විදුහල 

පළමු පෙළ (වම සිට දකුණට) - කල්ප ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු), කෞමාල් නානායක්කාර, වජිර අබේවික්‍රම මහතා (ක්‍රීඩා පරිපාලන), සුවත් මෙන්ඩිස් (නායක), කේ.ජේ. ප්‍රනාන්දු මහතා (විදුහල්පති), ප්‍රින්ස් ප්‍රනාන්දු (උප නායක), කසුන් දේවප්‍රිය මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), අසේල පෙරේරා මහතා (සහාය පුහුණුකරු) 

දෙවැනි පෙළ (වම සිට දකුණට) - ලක්ෂාන් පෙරේරා, පසිදු පැතුම්, විනුජ රන්පුල්, නදුක ප්‍රනාන්දු, තාරුක ප්‍රනාන්දු, දේවක පීරිස්, කාවින්ද ද මෙල්, තරිඳු අමරසිංහ 

තෙවන පෙළ (වම සිට දකුණට) - රෂාන් ප්‍රනාන්දු, ඔමේෂ් මෙන්ඩිස්, දිනුර ප්‍රනාන්දු, අනුප හේෂාන්, තනූජ් කවිෂාන්, කාංචන පෙරේරා

SEBA

ශාන්ත සෙබස්තියන් විදුහල  

පළමු පෙළ (වම සිට දකුණට) - කැලුම් පෙරේරා මහතා (භෞතචිකිත්සක) සරත් පෙරේරා මහතා (සහාය පුහුණුකරු), ඉඳුනිල් සම්පත් පියනම (ක්‍රීඩා පාලක), නුවනිඳු ප්‍රනාන්දු (නායක), රංජිත් අන්ද්‍රාන්දි පියනම  (විදුහල්පති), තෂික් පෙරේරා (උප නායක), ප්‍රියාන් තිසේරා පියනම, ෆෑන්ක් කුරේ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ඉමල් බොතේජු මහතා (ප්‍රධාන පුහුණුකරු), සමිත් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), 


දෙවැනි පෙළ (වම සිට දකුණට) - කළණ සන්දීප්, සුඛිත ප්‍රසන්න, නදීර ප්‍රනාන්දු, දුනිත් ජයතුංග, දුලාර ප්‍රනාන්දු, විනුජ රණසිංහ, නිසිත අභිලාෂ්, ප්‍රවීන් කුරේ, ළහිරු ප්‍රනාන්දු 



තෙවැනි පෙළ (වමේ සිට දකුණට) 


රුමේෂ් මෙන්ඩිස්, විහඟ මෙන්ඩිස්, ශසික පෙරේරා, ජනිෂ්ක පෙරේරා, තඳුල සිල්වා 

 

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...