. මෝටර් ක්‍රීඩා සංගමයේ නිලවරණය දෙසැ: 8 | කෙළිමඬල
2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා
මෝටර් ක්‍රීඩා සංගමයේ නිලවරණය දෙසැ: 8
2016-11-02 22:14:10 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා මෝටර් රථ (ඔටෝ මොබයිල්) ක්‍රීඩා මවු සංගමයේ නිලවරණය (2016/2018) ලබන මස (දෙසැම්බර්) 8 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එම සම්මේලනයේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සහ සංගම් වෙත ලිපි යොමුකරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රේසිං සංගමය, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය, දකුණු (සදර්න්) මෝටර් රථ ක්‍රීඩා සමාජය, මෝටර් රේසිං සංගමය, ලංකා (සිලෝන්) මෝටර් රථ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය, කොළඹ (කලම්බු) මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ මීගමුව (නිගම්බෝ) මෝටර් රථ ක්‍රීඩා සමාජය මෙම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ක්‍රීඩා සමාජ සහ සංගම් වේ.  

ක්‍රීඩා සමාජයකින් හෝ සංගමයකින් නියෝජිතයන් 5 දෙනෙකුට ඡන්දය භාවිතා කළ හැකි අතර එහිදී නියෝජිතයෙකුට එක් ඡන්දය බැගින් හිමිවේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වන පරිදි දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ තනතුරු 7 ක් සඳහා නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමට නියමිතය.

එහිදී සභාපති (1), උප සභාපති (2), ලේකම් (1), උප ලේකම් (1), භාණ්ඩාගාරික (1) සහ උප භාණ්ඩාගාරික (1) යන තනතුරු සඳහා නිලධාරීන් ඡන්දයකින් තෝරා පත්කරගැනීමට නියමිත අතර විධායක කමිටුව සඳහා සෑම ක්‍රීඩා සමාජයකින් සහ සංගමයකින්ම සාමාජිකයන් දෙදෙනා බැගින් නම් කළ යුතුය.

දැනගන්නට ඇති පරිදි මෙවර නිලවරණයේ සභාපති ධූරය සඳහා ඉදිරිපත්වීමට දිවයිනේ හිටපු ප්‍රවීන මෝටර් රථ රියදුරෝ දෙදෙනෙක් සූදානමින් සිටිති. ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉතාම පළපුරුදු අයකු වන අතර මීට පෙරද මෝටර් රථ ක්‍රීඩා මවු සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

මෙම නිලවරණය මේ වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, ඡන්ද හිමි ක්‍රීඩා සමාජ 2 කට එරෙහිව පාර්ශවයන් දෙකකින් එල්ල වී තිබූ විරෝධතා විභාග කිරීමට යෑමේදී එය දුරදිග යෑම නිසා නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සිදුවිය.  කෙසේ වුවත් ඉන් මාස 5 කට පසු එම විරෝධතා නිෂ්ප්‍රභා කර විරෝධතා එල්ල වී තිබූ ක්‍රීඩා සමාජ 2 කටද ඡන්ද බලය පිරිනමමින් නැවතත් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අඟහරුවාදා (1 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ කෙරුණ අතර ලබන 8 වැනිදා මධ්‍යාහ්න 12.00 වන තෙක් නාමයෝජනා බාරගැනේ. එදින මධ්‍යාහ්න 12.00 න් පසු ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා විවෘත කෙරන අතර පස්වරු 4.00 සිට ඒ සඳහා විරෝධතා බාරගනු ලැබේ.

මේ මස 11 වැනිදා පෙරවරු 10.00 ට පෙර ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සහ සංගම් වෙනුවෙන් ඡන්ද දායකයන්ගේ නම් ඉදිරිපත් කළ යුතු අතර නාමයෝජනා සඳහා ඉදිරිපත් වී ඇති විරෝධතා 16 වැනිදා 10.30 ට ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී විභාග කෙරේ.  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...