. එෆ්. ඒ. කුසලාන තරග 26 දා සිට | කෙළිමඬල
2017 ජූලි මස 22 වැනි සෙනසුරාදා
එෆ්. ඒ. කුසලාන තරග 26 දා සිට
2016-11-17 20:33:43 | නාමල් පතිරගේ

කණ්ඩායම් 664 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මෙම 26 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා නවක කණ්ඩායම් විශාල ගණනක් ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.


පසුගිය (2015) තරගාවලියේ සිට මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් සහභාගිත්වයෙන් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එහිදී එෆ්. ඒ. කුසලාන තරග ඉතිහාසයේ පළමු වතාවට ගියවර තරගාවලියේ කණ්ඩායම් සහභාගිත්වය 500 ක් ඉක්මවා ගියේය.


පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි ලීග 74 කින් මෙවර තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කර තිබේ. එම සම්මේලනය එම සියලු පාපන්දු ලීග (සංගම්) වෙත දැනුම්දී ඇැත්තේ එම සියලු ලීගවල වාර්ෂික පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ලෙස සලකා කටයුතු කරන බැවින් එෆ්. ඒ. කුසලාන තරගාවලියට කණ්ඩායම් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බවයි.


ඒ අනුව මෙවර එෆ්. ඒ. කුසලාන තරගාවලියට අවම වශයෙන් කණ්ඩායම් පහක් වත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ලීගවලට මූල්‍ය ප්‍රතිපාදන දීම අත්හිටුවන බවද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කියා සිටී. කෙසේ වුවත් එසේ කණ්ඩායම් පහක්වත් මෙවර තරගාවලියට සහභාගි කරන ක්‍රීඩා සමාජ සඳහා රුපියල් ලක්ෂයක් බැගින් වන මුදල් ප්‍රතිපාදන මුදා හැරීමට පාපන්දු සම්මේලනය දැනටමත් තීරණය කර තිබේ.


පසුගියදා එෆ්. ඒ. කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී රිනවුන් කණ්ඩායම ගෝල 3-1 කට පරාජය කරමින් යුද හමුදා ක්‍රීඩා සමාජය කුසලාන දිනා ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකාවේ එෆ්. ඒ. කුසලාන තරග ඉතිහාසය 1948 තෙක් ඈතට දිව යන අතර එකල එය හැඳින්වූයේ “ලංකා එෆ්. ඒ” කුසලාන තරගාවලිය ලෙසය.


එෆ්. ඒ. කුසලාන තරගාවලිය මේ දක්වා වැඩිම වාර ගණනක් දිනා ඇත්තේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයයි. ඒ 21 ක් වතාවකි. එසේ වුවත් එම ක්‍රීඩා සමාජය මෑත ඉතිහාසයේ ලබා තිබෙන පසුබෑම හමුවේ වසර 2001 න් පසු මේ දක්වා එම කුසලාන දිනා ගැනීමට සමත්වී නැත.


තරගාවලියේ අවසන් වටය සඳහා කණ්ඩායම් 32 ක් ඉදිරියට පැමිණෙන අතර ඒ සඳහා කෙළින්ම ප්‍රබල කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලබති.


ශූරයන්ගේ ලීග් තරගාවලියට සහභාගිවන ප්‍රබල කණ්ඩායම් බහුතරයක් එහිදී කෙළින්ම අවසන් වටයට පිවිසෙන කණ්ඩායම් 16ක් ඇතුළත් වෙති. ඒ අනුව මූලික වටයේ සිට දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණි කණ්ඩායම් අටක් හා ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ සිටින කණ්ඩායම් අටක්ද ඇතුළුව මුළු කණ්ඩායම් 32 ක් තරගාවලියේ තීරණාත්මක අවසන් වටයට පිවිසෙති.


එෆ්. ඒ. කුසලාන තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්ෂ හතක් හා අනු ශූරයන්ට රුපියල් ලක්ෂ පහක්ද වන මුදලක් ත්‍යාග ලෙස ප්‍රදානය කෙරෙති.


1960 තරගාවලියේ අවසන් මහ තරගයේදී පී. ඩී. සිරිසේන සෝන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ලබාගත් ගෝල හය මෙන්ම එම වසරේ තරගාවලිය පුරා ඔහු විසින් රැස් කළ ගෝල 24 තරගාවලියේ තවමත් බිඳී නොවැටී පවතින වාර්තා දෙකකි. එම අවසන් මහ තරගයේදී සිරිසේනගේ ගෝල ප්‍රහාරය හමුවේ සෝන්ඩර්ස් කණ්ඩායම වැල්ලවත්ත පෙහෙකම්හල් කණ්ඩායමට එරෙහිව ගෝල 7-2 ක් ලෙස ජය ගෙන තිබේ.


පී. ඩී. සිරිසේන මහතා මෑතක් වනතුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිට මේ වනවිට විශ්‍රාමව පසුවේ. ඔහු වසර ගණනාවක්ම ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ මෙන්ම සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබේ.


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිරිසේන මහතාගේ පාපන්දු දිවියට උපහාර ලෙස මාළිගාවත්ත නාගරික ක්‍රීඩාංගණය පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ලෙස නම් කළ අතර එය අදත් හඳුන්වන්නේ ඒ නමිනි.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
ශ්‍රී ලංකා පිල අසීරු ගමනක...
2017-07-15 17:00:17
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම මේ යයි කදිමට විද්‍යමාන කරමින් සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ටෙස්ට් ප...
රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි...
2017-07-17 21:07:55
සිම්බාබ්වේ පිල හමුවේ පීඩනයට නතුවී සිටියද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ජයගැනීමේ විශ්වාසයෙන් ශ්‍රී ල...