. වේල්ස් කුමර - ශා. සෙබස්තියන් තියුණු සටනකට | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 17 වැනි අගහරුවාදා
වේල්ස් කුමර - ශා. සෙබස්තියන් තියුණු සටනකට
2017-03-09 18:12:31 | දමින්ද විජේසූරිය

වසරකට වරක් මොරටු පුරවරයම උද්දාමයට පත්කෙරෙන ශාන්ත සෙබස්තියන් - වේල්ස් කුමර මහ ක්‍රිකට් තරගය හෙටත් අනිද්දාත් (10 සහ 11) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 67 වැනි වරටත් පැවැත්වෙන මෙම මහ ක්‍රිකට් තරගයේ විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම් දෙකම පාසල් ක්‍රිකට් වාරයේ පෙන්නුම් කරන දස්කම් කවර ආකාරයේ වුවත් මහ ක්‍රිකට් තරගයේදී කරට කර තරග වැදීමයි.


ශාන්ත සෙබස්තියන් විදුහල 1966 දී සරත් පෙරේරාගේ නායක්තවයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල ජයගැනීමෙන් පසුව මහ තරගයේ තීරණයක් ලැබුණේ 1977 දී පෙම්ලාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් වේල්ස් කුමර විදුහල ජයගැනීමෙනි. ඊළඟ තීරණය ලබාගැනීමට වසර 33 ක් බලා සිටීමට සිදුවූ අතර එය 2011 දී සනිත ද මැල්ගේ නායකත්වයෙන් යුත් ශාන්ත සෙබස්තියන් පිලට ලැබිණ.


එදා මෙදා තුර මෙම පාසල් දෙකින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක්ම හඳුන්වා දෙන ලද නමුත් ගෙවීගිය වසර 50 කාලයේදී මහ තරග 50 කින් තීරණයක් ලැබුණේ 3 කදී පමණි. මහ තරගයට පැමිණි කල්හි කණ්ඩායම් දෙකම කෙතරම් කැපවීමෙන් තරගවදිනවාද යන්න එය කදිම නිදසුනකි.


ශාන්ත සෙබස්තියන් විදුහල් පිල මෙවර මෙහෙයවනු ලබන්නේ තුන්වැනි වසරේ වර්ණලාභියකු මෙන්ම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේද සාමාජිකයකු වන මිෂේන් සිල්වා විසිනි. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සමගින් දකුණු අප්‍රිකාවේ සංචාරය කළ හෙයින් මිෂේන්ට සහභාගි විය හැකිවූයේ පාසල් තරග 8 කට පමණි.


ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායක අවිශ්ක ප්‍රනාන්දු සෙබස්තියන් පිලේ සිටින ප්‍රබලතම මෙන්ම වඩත්ම පළපුරුදු පිතිකරුවාය. ශ්‍රී ලංකා එක්දින හිස්වැස්ම පැළඳි ක්‍රීඩකයකුද වන අවිශ්ක වසර දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන අතරම දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක්තවය දැරීය.


මිෂේන් නැති අතරවාරයේදී කණ්ඩායම මෙහෙයවූ නිමේෂ් බණ්ඩාර ලකුණු 560 ක් ලබාගත් ක්‍රීඩකයෙකි. තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් සෙබස්තියන් පිතිකරුවා වන්නේ තරග 11 කදී ලකුණු 632 ලබාගත් තරුෂ ප්‍රනාන්දුය. කොළඹ ඩී. එස්. සේනානායක විදුහලට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගැනීමටද තරූෂ සමත් විය.


ඬේමියන් ද බයිසර්, මිලන්ත පීරිස්, තෂීක් පෙරේරා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් දීප්තිමත් අනාගතයකට හිමිකම් කිවහැකි නුවනිඳු ප්‍රනාන්දුද සෙබස්තියන් පිලේ ප්‍රබල පිතිකරුවෝ වෙති.


වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නාය. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩයමේද ක්‍රීඩකයකු වන ප්‍රවීන්, වසරකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් අඛණ්ඩව දස්කම් දක්වමින් සිටින්නෙකි. අශේර් වර්ණකුලසූරිය, තරූෂ ප්‍රනාන්දු, නුවනිඳු සහ තෂීක් පෙරේරා ප්‍රතිවාදීන් අමාරුවේ හෙළිය හැකි පන්දු යවන්නෝ වෙති.


මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී ශාන්ත සෙබස්තියන් විදුහල තරග 17 කට සහභාගි වෙමින් පන්නිපිටිය ධර්මපාල සහ කඳානේ ද මැසනඞ් විදුහල් පරාජය කිරීමට සමත් විය. තරග 13 ක් ජය පරාජයෙන් තොරව විසඳුන නමුත් සෙබස්තියානුවන් පරදවා ජයගැනීමට ශාන්ත පීතර සහ ත්‍රිත්ව කණ්ඩායම් සමත් වූහ.


වේල්ස් කුමර විදුහල මෙහෙයවනු ලබන්නේද ශ්‍රී ලංකා යොවුන් පිලේ අති දක්‍ෂ ආරම්භක පිතිකරුවකු වන විශ්ව චතුරංග විසිනි. මෙවර පාසල් තරගාවලියේ තරග 8 කට පමණක් සහභාගි වූවද ඔහු ඒවායේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 400 ඉක්මවයි.


තරග 13 කදී ලකුණු 643 රැස්කරගෙන සිටින උප නායක ඩිලන්ක මධුරංග, පසුගිය වසරේ නායක තිලාන් නිමේෂ් (560), අවිඳු ප්‍රනාන්දු සහ සනෝජ් දර්ශික ප්‍රබල පිතිකරුවෝ වෙති. එහෙත් නවකයන් වන සඳුන් ප්‍රනාන්දු, සවිඳු පීරිස් සහ ප්‍රින්ස් ප්‍රනාන්දු කිසිසේත්ම සුළුවෙන් තක්සේරු කළ නොහැකිය. පා දඟ පන්දු යවන්නන් වන තිලාන් නිමේෂ් සහ ඩිලේෂ් නානායක්කාර දෙදෙනාත් පිට දඟ පන්දු යවන සවිඳු පීරිස් මත වේල්ස් කුමරුවන්ගේ පන්දු යැවීමේ ශක්තිය රැඳී තිබේ.  


වේල්ස් කුමර විදුහල තරග 15 කට සහභාගි වෙමින් තරග 4 කදී සම්පූර්ණ ජයග්‍රහණ ලබාගත්තේය. පන්නිපිටිය ධර්මපාල, කොළඹ රාජකීය, ගාල්ල මහින්ද සහ වෙස්ලි විදුහල් පරාජය කරමින් ජය ලබාගත් වේල්ස් කුමරුවන් පරදවා ජයගැනීමට ලුම්බිණි, නාලන්දා සහ තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.


තරගාවලියේ ඉතිහාස පොත අනුව වේල්ස් කුමර විදුහල හය වතාවක්ද ශාන්ත සෙබස්තියන් විදුහල තුන් වතාවක්ද මහ ක්‍රිකට් තරගය ජයගෙන තිබේ.


තරගාවලියේ ඉතිහාසය පුරා, වඩාත් ප්‍රබල කණ්ඩායම්වල අපේක්‍ෂා බිඳ දමමින් පාසල් තරගාවලියේ දුර්වල වාර්තා හිමිකරගෙන සිටි කණ්ඩායම් මහ ක්‍රිකට් තරගයේදී හිස එසවූ අවස්ථා ගණනාවක්ම තිබේ. එහෙත් මෙවර කණ්ඩායම් දෙකම කරට කර තරග කළ හැකි කණ්ඩායම් දෙකකි. එබැවින් අනාවැකි කීම අසීරුය.


අද සහ හෙට මහ ක්‍රිකට් තරගය පැවැත්වෙන අතර අනිද්දා (ඉරිදා) විදුහල් අතර සීමිත ඕවර තරගය පැවැත්වේ.


සීමිත ඕවර තරගාවලියේ තරග 15 ක් ජයගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්ව තිබෙන අතර වේල්ස් කුමරුවන්ට ජයගැනීමට හැකිවී ඇත්තේ තරග 13 කි. තරග දෙකක් වර්ෂාව නිසා අතහැර දමන ලද අතර තරගයක් ලකුණු සමවීමෙන් අවසන් විය.

 


ශාන්ත සෙබස්තියන් කණ්ඩායම

මිශේන් සිල්වා (නායක), නිමේෂ් බණ්ඩාර (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, තසීක් පෙරේරා, ගිහාන් සේනානායක, fඩිමියන් ඩි’බයිසර්, නුවනිඳු ප්‍රනාන්දු, තරුෂ ප්‍රනාන්දු, අශේර් වර්ණකුලසූරිය, මලින්ත පීරිස්, නමෝෂ්ක ද සිල්වා, දුලාජ් සිල්වා, ප්‍රවීන් කුරේ, පර්ෂියන් ප්‍රනාන්දු, නිසිත අභිලාෂ් සහ විනුජ රණසිංහ.

ඉමල් බොතේජු (පුහුණුකරු), තරංග ද සිල්වා (සහාය පුහුණුකරු), ෆ්‍රෑන්ක් කුරේ (කණ්ඩායම භාර ආචාර්ය)

 

වේල්ස් කුමර කණ්ඩායම

විශ්ව චතුරංග (නායක), ඩිලංක මධුරංග (උප නායක), තිලාන් නිමේෂ්, දේවක ඉෂාර, ප්‍රින්ස් ප්‍රනාන්දු, සුවත් මෙන්ඩිස්, ඩිලේෂ් නානායක්කාර, අවිඳු ප්‍රනාන්දු, සවිඳු පීරිස්, සනෝජ් දර්ශික, ධනුෂ්ක ප්‍රනාන්දු, සංජය ප්‍රනාන්දු, සඳුන් ප්‍රනාන්දු, කුමල් නානායක්කාර, තරුක ප්‍රනාන්දු සහ ෂෙහාන් අවිශ්ක

කුෂාන් ජයවික්‍රම (පුහුණුකරු), සහාය පුහුණුකරු (කල්ප ප්‍රනාන්දු), ශාන්ත රුද්රිගු (කණ්ඩායම භාර ආචාර්ය)

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
ශ්‍රී ලංකාව 6 වැනි තැනට නගී...
2017-10-10 19:06:09
පාකිස්තානයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් (දිවා-රාත්‍රී) ලකුණු 6...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...