. බැඩ්මින්ටන් නිලවරණය වැට උඩ ? | කෙළිමඬල
2017 ජූලි මස 25 වැනි අගහරුවාදා
බැඩ්මින්ටන් නිලවරණය වැට උඩ ?
2017-03-23 19:10:32 | ශානුක අරවින්ද

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය නොසළකාහරමින් අද (24 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීමට එම සංගමය පත්කළ නිලවරණ කමිටුව සූදානමින් සිටින බව ‘ලංකාදීප’ යට වාර්තා වේ.

නව ක්‍රීඩා රෙගුලාසි වලට අනුව සෑම ක්‍රීඩා සංගමයක්ම නිලවරණය පැවැත්වීමට පෙර සිය වාර්ෂික ගිණුම් වාර්තා රජයේ විගනකාධිපති දෙපාර්තමෙන්තුව වෙත ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුය. එසේ වුවත් අවසන් මොහොත වන තෙක්ම බැඩ්මින්ටන් සංගමයේ වාර්ෂික ගිණුම් වාර්තාවට රජයේ විගනකාධිපති දෙපාර්තමෙන්තුවේ අනුමැතිය ලැබී නොතිබීම නිසා නිලවරණය කල් දමන ලෙස නියෝග කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා බැඩ්මින්ටන් සංගමයට ලිපියක් යොමුකර තිබිණ.

සිය ගිණුම් වාර්තා සඳහා පෞද්ගලික විගනන ආයතනයක අනුමැතිය ලබාගෙන තිබුණද, නව ක්‍රීඩා රෙගුලාසි වලට අනුකූල වෙමින් ඒ සඳහා රජයේ විගනකාධිපති දෙපාර්තමෙන්තුවේ අනුමැතියද ලබා ගැනීමේ අරමුණින් මේ මස 1 වැනිදා වන විට අදාල ගිණුම් වාර්තා ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමු කිරීමට බැඩ්මින්ටන් සංගමය පියවර ගෙන තිබිණ. එසේ වුවත් අවසන් මොහොත වන තෙක්ම ඒ සඳහා අනුමැතිය ලබා නොදෙමින් නිලවරණය කල්දැමීමට නියෝග කිරීම පිළිබඳව බැඩ්මින්ටන් සංගමය දැඩි කණස්සල්ලෙන් පසුවන බවද වාර්තා විය.

කෙසේ වුවත් අමාත්‍යවරයාගේ නියෝගය ඉවත දමමින්, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් ලැබුණ උපදෙස් මත අද නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.  

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නීති රෙගුලාසි වලට අනුකූල වන බැවින් එය පැවැත්වීමේ කිසිදු වරදක් නැති බව සඳහන් කරමින් මැක්ස්වෙල් මහතා පෙරේදා (22 වැනිදා) රාත්‍රියේදී බැඩ්මින්ටන් සංගමයට යොමුකර තිබූ ලිපියක් සැළකිල්ලට ගනිමින් නිලවරණ කමිටුව එම තීරණයට එළඹ තිබේ.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් බැඩ්මින්ටන් සංගමයේ ඉහළ පෙලේ නිලධාරයකුගෙන් ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ඔහු කියා සිටියේ මේ වන විට නිලවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් වුවත්, අවසන් මොහොතේ නිලවරණය පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් පැණවුවහොත් වහාම එය අත්හිටුවීමට සිදුවන බවයි.

අද පැවැත්වීමට නියමිත නිලවරණයේදී බැඩ්මින්ටන් සංගමයේ සභාපති ධූරය සඳහා රොෂාන් ගුණවර්ධන, නිශාන්ත ජයසිංහ, පරාක්‍රම බස්නායක, ප්‍රින්ස්ලි කුක්, පාලිත හෙට්ටිආරච්චි සහ රොහාන් ද සිල්වා යන මහත්වරුන් තරග වැදීමට නියමිතය.

එහි උප සභාපති ධූර 7 ක් සඳහා නාම යෝජනා 20 ක්ද, ලේකම් ධුරය සඳහා නාම යෝජනා 5 ක්ද, සහකාර ලේකම් ධුරය සඳහා නාම යෝජනා 6 ක්ද, භාණ්ඩාගාරික ධුරය සඳහා නාම යෝජනා 4 ක්ද, උප භාණ්ඩාගාරික ධුරය සඳහා නාම යෝජනා 3 ක්ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

මෙවර නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා අනුබද්ධ ක්‍රීඩා සමාජ 51 කට ඡන්ද හිමිකම් ලැබී තිබුණද, නව ක්‍රීඩා රෙගුලාසි වලට අනුව පාසල් බැඩ්මින්ටන් සංගමට හිමිව තිබූ ඡන්ද (6) අවලංගු කර තිබේ. ඒ වෙනුවට නව ක්‍රීඩා රෙගුලාසි වලට අනුව ඔවුන්ට සංගමයේ එක් උප සභාපති ධුරයක් පිරිනැමීමට නියමිතය. ඒ අනුව මෙවර නිලවරණයේදී ඡන්දය භාවිතා කළ හැකි ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 45 කට පමණක් සීමා වී තිබේ.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...