. මාලදිවයින හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් | කෙළිමඬල
2017 මැයි මස 29 වැනි සඳුදා
මාලදිවයින හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
2017-05-09 22:12:21 | පැතුම් ශ්‍රී විජේරත්න - දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාංගණයේ සිට

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ මාලදිවයින් කණ්ඩායම ලකුණු 86 -14ක් ලෙස පරාජය කර විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09දා) සමත්විය. මෙම තරගාවලිය දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගයේ පළමු කාර්තුව වේගවත්ව ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, එම කාර්තුව නිමාකළේ, ලකුණු 22-05 ක් ලෙස පෙරමුණ ගනිමිනි. එහිදී සචිනි රොද්‍රිගෝ, නිලුම් හපුආරච්චි හා ශ්‍රී ලංකා ගෝල විදින්නිය වන කවීනා රාජපක්‍ෂගේ දක්‍ෂතා කැපී පෙනුණි. දෙවැනි කාර්තුවේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තමන්ගේ ප්‍රහාරය ලිහිල් නොකළ අතර, එම කාර්තුව ලකුණු 21-03 ක් ලෙස නිමාකිරීමට හැකිවිය.

කෙසේ වෙතත් තෙවැනි හා සිවුවැනි කාර්තු වඩාත් සංයමයකින් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම කාර්තුවලදී පිළිවෙළින් ලකුණු 23-04 ක් හා 20-02 ක් වශයෙන් ප්‍රබලව ක්‍රීඩා කරනු දැකගත හැකිවිය. මෙහි සමස්ත කාර්තුවලදී ශ්‍රී ලංකා ලකුණු සටහන දැක්වූයේ 22-05 ක්, 43-08 ක්, 66-12 ක් හා 86-14 ක් වශයෙනි. මෙම තරගයේදී ශ්‍රී ලංකා නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු තෙවැනි කාර්තුවේ සිට කැඳවීමට පුහුණුකාරිනිය කටයුතු කළාය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 03 කට සහභාගිවී, ඉන් තරගයක් පරාජයට පත්ව තරග 02ක් ජයගැනීමට සමත්ව සිටියි. එමෙන්ම සමස්ත තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩිකාව වශයෙන් තවමත් පෙරමුණේ පසුවන්නේද ශ්‍රී ලංකා ක්‍රීඩිකා කවීනා රාජපක්‍ෂයි.

ශ්‍රී ලංකාව තරගවදින කාණ්ඩයේ මේ වනවිට හොංකෙං රාජ්‍ය පෙරමුණේ පසුවන අතර, ඔවුන් මුහුණදුන් තරග තුනම ජයගෙන සිටියි. ශ්‍රී ලංකාව එහි  දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය හෙට (10දා) හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භවීමට නියමිතය. වත්මන් ආසියානු යොවුන් ශූරියන් වන ශ්‍රී ලංකාවට එම අභිමානය රැකගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වන අතර, එයද වැඩි ලකුණු පරතරයකින් විය යුතුය.

අද (09දා) දිනයේදී තරග තුනක් පැවැති අතර, එහිදී ඉන්දියාව විසින් සත්කාරක දකුණු කොරියාව ලකුණු 67-20 ක් වශයෙන් පරාජය කළ අතර, හොංකොං රාජ්‍ය විසින් ලකුණු 51-35 ක් වශයෙන් තායිලන්තය පරාජය කරන ලදි. මීට අමතරව චීන තායිපේට එරෙහි තරගයෙන් ලකුණු 71 -29ක ජයක් වත්මන් අනුශූරියන් වන මැලේසියාවට හිමිවිය.

හෙට  තරගාවලියේ 05 වැනි දිනය වන අතර, බ්‍රහස්පතින්දා(11දා) විවේකී දිනයකි. ඉකුත් සෙනසුරාදා (06දා) ඇරඹුණු මෙම තරගාවලිය 13 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම තරගය නැරඹීම සඳහා දකුණු කොරියාවේ රැකියාව කරන ශ්‍රී ලංකිකයන් පිරිසක්ද පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට කටයුතු කළේය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
සංගා සරේ වාර්තා පොතට...
2017-05-26 23:39:03
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ...