. පුහුණුකරු ෆෝඩ්ගෙන් සුබවාදී බලාපොරොත්තු | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
පුහුණුකරු ෆෝඩ්ගෙන් සුබවාදී බලාපොරොත්තු
2017-05-17 22:50:27 | දමින්ද විජේසූරිය

වෙනදා මෙන් බලාපොරොත්තු පොදිබැඳ ගෙන නැතත් ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ අධිෂ්ඨානයෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (18 වැනිදා) උදෑසනම එංගලන්තය බලා පිටත්ව යයි. ශූරයන්ගේ කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (17 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවකදී කීවේ ජූනි 1 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලියට පොරතුව තිබෙන සති දෙකේදී එංගලන්තයේ දේශගුණික තත්ත්වයන්ට හුරුවීම වඩාත් වැදගත් බවයි.


ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසින් මස 21 වැනිදා සහ 23 ස්කොට්ලන්තය සමග එක්දින අන්තර්ජාතික තරග දෙකකට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව 26 දා නවසීලන්තයට එරෙහිවද 30 වැනිදා ඕස්ටේලියාවට එරෙහිවද පුහුණු තරග දෙකකට මුහුණ දෙයි.


මෙවර එංගලන්ත ගිම්හානයේ තත්ත්වය හොඳින් අධ්‍යනය කර සිටින පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා පවසන්නේ එංගලන්තයේ තණතීරුවල තත්ත්වය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ඇතිකළ හැකි බවයි.


“වාසනාවට වගේ අපි තරග දෙකක්ම ක්‍රීඩා කරන්නේ ඕවල් පිටියේ. මේ ක්‍රීඩාංගණය ගැන මා ඉතා හොඳින් දන්නවා...ඇරත් මට පෙනෙන විදිහට එංගලන්තයේ මේ ගිම්හානය තරමක් වියලි සහගත ගිම්හානයක්. ඒ නිසා වාර්තාවන ලකුණු සංඛ්‍යාවන් වැඩියි”


“මේ තත්ත්වය අපට ඉතා හොඳින් ගැලපෙනවා...ඒත් මා ඇත්තටම කියන්නේ නෑ අපි පන්දුව දඟ කැවීම අපේක්‍ෂා කරනවා කියා. මොකද ඉම්රාන් තහීර් කියන්නේ දකුණු අප්‍රිකානුවන් සතුව සිටින හොඳ තුරුම්පුවක්” යයි කී ෆෝඞ් මහතා...“කාලගුණය ගැන කියන්න බෑ...හදිසියේම වර්ෂාව එන්නත් පුළුවන්. ඒත් දැන් තියෙන විදිහට තත්ත්වය හොඳයි” යයිද පැවසීය.


ලන්ඩන් ඕවල් පිටිය යනු 1998 දී පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල එංගලන්තය පරාජය කළ ක්‍රීඩා ක්‍රීඩා පිටිය පමණක් නොව කුමාර් සංගක්කාර දැනටමත් ක්‍රීඩා කරන සරේ ප්‍රාන්තයේ ක්‍රීඩාංගණයද වෙයි. පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා මෙම ක්‍රීඩාංගණය පිළිබඳ හසළ දැනුමකින් යුතු අයකු වන අතරම ශූරයන්ගේ කුසලාන තරගාවලියට විස්තර විචාරකයකු ලෙසින් එක්වන කුමාර් සංගක්කාරගෙන්ද මෙම ක්‍රීඩාංගණයේ පන්දුව හැසිරීම පිළිබඳ හොඳ ගුරුහරුකම් ලබාගත හැකිය.


ශ්‍රී ලංකා පිලේ වේග පන්දු පුහුණු උපදේශකවරයා වන ඇලන් ඩොනල්ඞ්ද වසර ගණනාවක්ම එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් හොඳ අත්දැකීම් ලබා ඇති ක්‍රීඩකයෙකි.


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් සීමිත ප්‍රමාණයක් තවමත් අළෙවි වීමට තිබෙන නමුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඕවල් පිටියේදීම පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් මේ වන විටත් විකිණී හමාරය.


වැඩිපුර කටහඬ අවදි නොකරන, බොහෝවිට නිහඬ චරිතයක් වන ග්‍රැහැම් ෆෝඞ් මහතා කණ්ඩායම සහ ක්‍රීඩකයන් පිළිබඳව තියුණු දෑසක් ඇත්තෙකි. 2014 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි:20 ලෝක කුසලාන දිනන්නට මාස පහකට පමණ ඉහතදී “ඒ ලෝක කුසලානය දිනා නොගන්න හේතුවක් මට නම් පෙනෙන්නේ නෑ” යයි කීවේද එවකට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවාව සිටි ග්‍රැහැම් ෆෝඞ් මහතාමය.


ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවටත් (ජූනි 3දා), ඉන්දියාවට (ජූනි 8දා) සහ පාකිස්තානයට (ජූනි 12දා) තරග වදී. අතීතයේදී මෙම කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවූවත් අද වන විට එම කණ්ඩායම් ලබා සිටින දියුණුවත්, ශ්‍රී ලංකා පිලේ සිටි පතාක යෝධයන් අන්තර්ජාතික පිටියෙන් සමුගැනීමත් නිසා ශ්‍රී ලංකා පිලට ඇත්තේ මඳ බලාපොරොත්තුවකි.


“අපේ කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් දිහා බැලුවොත් ඔවුන්ට අපට වඩා ඉතාමත් හොඳ වාර්තාවක් තියෙනවා. අපට ඉන්නේ තරුණ කණ්ඩායමක්. ඒ ක්‍රීඩකයන් අතුරින් වැඩි දෙනෙක් පසුගිය වසර දෙකක විතර කාලයේදී ඉතාමත් සීඝ්‍ර දියුණුවක් ලබාගත් ක්‍රීඩකයන්....”
“අනෙක් අතට පසුගිය අවුරුදු දෙකක විතර කාලයේදී අපට නැගීම් වගේම වැටීම් තිබුණත් ඒ කාලයේදී අපි අපේ දුර්වලතා මොනවාද කියලා හොයාගත්තා. මා හිතන්නේ මේ සියලුම ක්‍රීඩකයන් ඒ ඒ අංශ වලදී හොඳ දියුණුවන් පෙන්වන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා කියලයි”


“මොන දේ වුණත් අපි යථාර්තවාදී වෙන්න ඕනෑ. ඒ තමයි මේ තරගාවලියට අපි යන්නේ කුසලානය දිනාගැනීමට අපේක්ෂා කරන කණ්ඩායම නොවන විදිහටයි කියන එක. ඒත් ඒකත් සමහර වෙලාවල හොඳ තත්ත්වයක් නිර්මාණය කරනනවා....“ලෝකයේ සිටින ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන් හමුවේ තරග කිරීම අභියෝගයක් වුණත් ඒ ක්‍රීඩකයන් නොසිතන යමක් කරන්න තරම් අපේ ක්‍රීඩකයන් සමර්තයි කියන එක මට විශ්වාසයි. ප්‍රේක්ෂකයන් එයින් හොඳ වින්දනයක් ලබාවි”


“මා හිතන්නේ අපි හොඳ තැනක ඉන්නවා” යයි ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා කියන්නේ එබැවිනි.

 

දිනය කණ්ඩායම් ක්‍රීඩාංගණය තරග ආරම්භය 
(ශ්‍රී ලංකා වේලාවෙන්)
ජූනි 03 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රීකාව ඕවල්හිදී ප.ව. 3.00
ජූනි 08 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඕවල්හිදී ප.ව. 3.00
ජූනි 12 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කාර්ඩීෆ්හිදී ප.ව. 3.00
ජූනි 14 පළමු අවසන් පූර්ව තරගය කාර්ඩීෆ්හිදී ප.ව. 3.00
ජූනි 15 දෙවන අවසන් පූර්ව තරගය බර්මින්හැම්හිදී ප.ව. 3.00
ජූනි 18 අවසන් තරගය ඕවල්හිදී ප.ව. 3.00

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...