. දකුණු ආසියානු කනිෂ්ඨ තරග හෙට සිට | කෙළිමඬල
2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා
දකුණු ආසියානු කනිෂ්ඨ තරග හෙට සිට
2017-05-18 20:33:06 | ශානුක අරවින්ද

දකුණු ආසියානු මේසපන්දු සංගමයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය හෙට (19) ආරම්භ වේ. මෙම තරගාවලිය 20 වැනිදා සහ 21 වැනිදා දිනවලදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සත්කාරක ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය යන රටවල් මෙම තරගාවලිය සඳහා සහභාගි වෙයි.

තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර පළමු අදියරේදී අවුරුදු 18 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා කණ්ඩායම් තරග පැවැත්වේ. දෙවැනි අදියරේදී අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩය සඳහා කේවල සහ යුගළ තරග පැවැත්වෙන අතර 15 න් පහළ වයස් කාණ්ඩය සඳහා කේවල තරග පමණක් පැවැත්වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වෙති. වයස 18 න් පහළ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු බැගින්ද, වයස 15 න් පහළ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු බැගින්ද තරග වැදීමට නියමිතය.

මහනුවර විද්‍යාර්ථ විදුහලේ දිනේෂ් කවිෂ්ක වයස 18 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති. මහනුවර කිංස්වුඞ් විදුහලේ චන්දූප අලහකෝන් වයස 15 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහලේ ඩී. එච්. කොළඹගේ 15 න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති.

පී. ඩී. රත්නසිරි මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, වජිර වික්‍රමසිංහ, බුද්ධික දික්කුඹුර, ඩී. එම්. ජී. එස්. කුමාර සහ චමින්ද රොෂාන් යන මහත්වරු කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙසත් කටයුතු කරන අතර අශෝකමාලා තෙන්නකෝන් මහත්මිය කලමණාකාරිණිය ලෙස කණ්ඩායමට එක්ව සිටින්නීය.

ඉකුත් වසරේ මෙම තරගාවලිය පාකිස්තානයේදී පැවැති අතර එහිදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. වීසා ලබාගැනීමේදී ඇතිවූ ගැටළුවක් නිසා ඉන්දීය කණ්ඩායම එම තරගාවලියට සහභාගි නොවීය.

එම තරගාවලියේදී වයස 18 න් පහළ බාලිකා රන් පදක්කම දිනාගත් හංසනී පියුමිලා සහ වයස 15 න් පහළ බාලිකා රන් පදක්කම දිනාගත් ඉමාෂා ද සිල්වා මෙන්ම පිළිවෙලින් එම ඉසව් දෙකේ රිදී පදක්කම් දිනාගත් චමත්සරා ප්‍රනාන්දු සහ තනුෂි රොද්‍රිගෝද මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත්ව සිටිති. එම තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අතරින් මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම ක්‍රීඩකයා වන්නේ දිෂංක තෙන්නකෝන්ය.

වයස 18 න් පහළ බාලක කණ්ඩායම
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල), දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල), විරුණක හෙන්දහේවා (කොළඹ රාජකීය විදුහල) සහ නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල)

වයස 18 න් පහළ බාලිකා කණ්ඩායම
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), තනුෂි රොද්‍රිගෝ (මහනුවර මහාමායා විදුහල) සහ චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල)

වයස 15 න් පහළ බාලක කණ්ඩායම
චන්දූප අලහකෝන් (මහනුවර කිංස්වුඞ් විදුහල), තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල)

වයස 15 න් පහළ බාලිකා කණ්ඩායම
ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල), ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) සහ සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...