. ශූරතාව දිනන්න මැලේසියාව පැරදවිය යුතුමයි | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 25 වැනි බදාදා
ශූරතාව දිනන්න මැලේසියාව පැරදවිය යුතුමයි
2017-05-19 19:40:58 | යොහාන් භාසුර, මැලේසියාවේ ඉපෝ නුවර සිට...

මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මැලේසියාව අතර තීරණාත්මක අවසන් තරගය ඉපෝ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී හෙට (20) පැවැත්වේ.  මෙම තරගය මැලේසියානු වේලාවෙන් පස්වරු 4.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.


ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගැනීමට නම් මෙම තරගය ජය ලැබීම අනිවාර්ය වී තිබේ. සත්කාරක මැලේසියාවට මෙම තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීම ශූරතාව දින ගැනීමට ප්‍රමාණවත් වී තිබේ.


ශ්‍රී ලංකාව මෙම තරගය ජය ලැබුවහොත් අවසන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් ද මැලේසියාව ජය ලැබුවහොත් අවසන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14 ක් ද, බවට පත් වේ.


තරගය සමව අවසන් වුවහොත් දෙපිලටම ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිව මැලේසියා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක් ද, ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 11 ක් ද, බවට පත්වේ.


ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකේදී පිලිපීනය ලකුණු 24-13 කින් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ලකුණු 33-17 කින් ද, පරාජය කරමින් අතිරේක ප්‍රසාද ලකුණත් ද සමගින් අපරාජිතව ප්‍රසාද ලකුණු 9 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වෙයි.


මැලේසියාව තරග දෙකේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය ලකුණු 36-22 කින් ද, පිලිපීනය ලකුණු 40-8 කින් ද, පරාජය කරමින් අතිරේක ප්‍රසාද ලකුණු 2 ක් සමගින් ප්‍රසාද ලකුණු 10 ක් ලබා අපරාජිතව පළමු ස්ථානය හිමිකරගෙන සිටියි.


ශ්‍රී ලංකා පිල පිලිපීනයට එරෙහිව තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණ ලබා ගැනීමට අපොහොසත් වූ අතර මැලේසියාව තරග දෙකේදීම අතිරේක ප්‍රසාද ලකුණ බැගින් ලබා ගත්තේය.


   මෙම තරගය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ නායක රොෂාන් වීරරත්න පැවසුවේ මැලේසියාව පරාජය කිරීමට තම කණ්ඩායම තුළ හොඳ ආත්මවිශ්වාසයක් ඇති බවයි.


“මෙම තරගය අනිවාර්යෙන්ම දිනන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ තරගය තමයි අපිට ඇත්තටම තරගකාරිත්වයක් තියෙන්නේ. පසුගිය වසරේ අපි මැලේසියාවට පරාජය වුණා. ඒ නිසා හොඳ සූදානමක් තියෙනවා”


“මට ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර අපි ජයග්‍රහණය කරනවා කියලා. ශ්‍රී ලංකාවට කුසලානය අරගෙන යන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ” යැයි වීරරත්න වැඩි දුරටත් පැවසීය.


ශ්‍රී ලංකා පිලේ සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රංජන් දෙවැනි තරගයේදී උරහිස ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයට සහභගි වීම අවිනිෂ්චිත තත්ත්වයකට පත්ව තිබූ අතර ඔහු පුහුණුවීම්වලින් ද ඉවත්ව සිටියේය. සත් සාමාජික රග්බි පිලේ නායකයා ද වන වේගවත් ක්‍රීඩක ධනුෂ්ක පළමු තරග දෙකේදීම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර ඔහුගේ සේවය මෙම තරගයේදී නොලැබුණ හොත් එය දැඩි පාඩුවක් වනවාට සැක නැත.


මැලේසියානු පිලේ සමස්තයක් ලෙස ශරීරයෙන් විශාල මෙන්ම වේගයෙන් දුවන ක්‍රීඩකයෝ සිටිති. මැලේසියාව ජය ලැබූ තරග දෙකේදීම වේගයෙන් දිවයමින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ආකාරය දැකගත හැකිවිය.  


තරගාවලියේ පස්වැනි තරගය පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර හෙට (20) පස්වරු 2.00 ට පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්...
2018-04-18 20:08:08
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ජායීපූර්හිදී අද (18 වැන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...