. ආනන්ද වෙඩිසිංහ දිවියෙන් සමුගනී | කෙළිමඬල
2017 අගෝස්තු මස 19 වැනි සෙනසුරාදා
ආනන්ද වෙඩිසිංහ දිවියෙන් සමුගනී
2017-05-29 19:30:34 | ශානුක අරවින්ද

නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ අද (29 වැනිදා) පස්වරු 3.00 ට පමණ සිය දිවියෙන් සමුගත්තේය. මිය යන විට 47 වැනි වියේ පසුවූ වෙඩිසිංහ සිවුදරු පියෙකි.

අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසේ.

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබේ. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.  

යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ක්‍රීඩකයෙක් ලෙස ආනන්ද වෙඩිසිංහ හැදින්විය හැකි අතර පසුගියදා පැවති නරියාකන්ද තරගාවලියේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ නාඩි වැටෙන තුරු රේස් පදින බවයි. පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රෙස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනිමින් වාර්තාවක්ද පිහිටවූ වෙඩිසිංහ, කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද හිමිකම් කියා තිබේ.

අවස්ථා කිහිපයකදීම වෙඩිසිංහ ශ්‍රී ලංකා යුද හමුදාවටත්, රණවිරුවන්ටත් කළ උපකාර පිළිබඳව විමසීමකදී ප්‍රවීණ මෝටර් රථ රියැදුරකු මෙන්ම ප්‍රවීන මෝටර් රථ තරග සංවිධායකයකුද මහේෂ් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“වෙඩිසිංහ කියන්නේ හරිම හොඳ පුද්ගලයෙක්. යුද්දෙ කාලෙදී රණවිරුවන්ට ප්‍රතිකාර කරන්න ඕන වෙන ගිලන් රථ කිහිපයක්ම වෙඩිසිංහ හමුදාවට පරිත්‍යාග කළා.... ඒ විතරක් නෙමෙයි ආබාධ වලට ලක්වෙච්ච රණවිරුවන්ට රෝද පුටු, පාපැදි වගේ දේවලුත් එයා පරිත්‍යාග කරලා තියෙනවා.”

“එයාට වඩා සල්ලි තියෙන අය ඕන තරම් ලංකාවේ රේස් පැද්දා. ඒත් එයා තරම් වෙන කවුරුවත් ශ්‍රී ලංකාවේ රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරලා නෑ” යැයිද ගම්මන්පිල මහතා පැවසීය.

වෙඩිසිංහ අනතුරට ලක්වූ නුවරඑළිය තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ තරගකරුවන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර මින් පෙරද මෙම තරගාවලිය පැවැති අවස්ථා දෙකකදී යතුරුපැදි ක්‍රීඩක රංජිත් ධනපාල සහ මෝටර් රථ රියැදුරු ඩිල්ෂාන් බණ්ඩාරනායකද දරුණු අනතුරු වලට මුහුණපා ජීවතක්ෂයට පත්ව තිබේ.  

 

චරිත් ප්‍රසන්න2017-05-29 20:00:21
කාලෙකින් ඇසට කඳුලක් ආව දවසක්....අපි පොඩි කාලෙ ඉඳලා ලංකාවේ පුළුවන් හැම තැනකම මොටෝ ක්‍රොස් බලන්න ගියේ මොටෝ ක්‍රොස් ගැන අපි දන්න අහවල් දෙයක් නිසා නෙමෙයි. ගොඩාක් දුකයි.පන්නල...නාරම්මල....අනුරාධපුරෙ...කටුකුරුන්ද.... ට්‍රැක් වල අපේ පිටු ගණන් ලියන්න පුලුවන් පරණ මතකයන් වද දේවි හැමදාමත් සිතට..මට නම් කවදාවත්ම මොටෝ ක්‍රොස් එකක් බලන්න බැරි වේවි ඇසේ කඳුලක් නැතුව.ආනන්ද වෙඩිසිංහ වීරයාණෙනි...ශීු ලංකා මෝටර් ක්‍රොස් රජුනි, ඔබට නිවන් සුව..
දයාණි2017-05-30 02:25:33
ඉතාම වේදනාකාරී පුවතක්. මතු උපදින ආත්මවලදී මෙවන් අනතුරු සිදු නොවේවා... ඔබට නිවන් සුව ලැබේවා!!!
සමන්ති2017-05-30 03:58:30
ඔහුට නිවන් සුව අත්වේවා...!!! මෙවන් අකල් මරණයක් ලොව කිසිම කෙනෙකුට අත් නොවේවා...
නාලක2017-05-30 16:18:25
ගොඩක් දුකයි !!!

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස (පළමු කොටස ඊයේ පත්‍රයේ පළවිය) ප්‍රශ්නය - මේ වන විට ති...