. පසුබැසීමේ වරද ඇත්තේ නිලධාරීන් අතයි - රංජිත් වීරසේන | කෙළිමඬල
2017 අගෝස්තු මස 20 වැනි ඉරිදා
පසුබැසීමේ වරද ඇත්තේ නිලධාරීන් අතයි - රංජිත් වීරසේන
2017-06-06 17:36:06 | සුසිල් ප්‍රේමලාල්

දකුණු ආසියාවේ පමණක් නොව ආසියාවේ ද රටවල් කිහිපයක් හැරුණු විට දීර්ඝ සහ ජයග්‍රාහී මලල ක්‍රීඩා ඉතිහාසයකට හිමිකම් කියන එකම රට ශ්‍රී ලංකාවයි. ඩන්කන් වයිට් 1948 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ආරම්භ කරන ලද “ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම් ඉදිරි ගමන” වසර 52 කට පසු සුසන්තිකා ජයසිංහ 2000 සිඞ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනාගන්නත් රිදී පදක්කම මෙන් අඩාල වී ඇතැයි මට හිතෙනවා. ඒ අනුව මෙරට මලල ක්‍රීඩාවේ ඉතිහාසය සහ වර්තමානය දෙස බලන විට දැඩි කලකිරීමක් මෙන්ම අනාගතය ගැන බියක් ඇතිවනවා.” යැයි ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම කවපෙත්ත විසි කිරීමේ ඉසව් ශූරයකු වන රන්ජිත් වීරසේන මහතා පවසයි.

 

දැනට 76 වැනි වියේ පසුවන රන්ජිත් වීරසේන මහතා  1958 සිට 1970 දක්වා මෙරට පාසල් මෙන්ම ජාතික මට්ටමේ කවපෙත්ත විසි කිරීමේ ශූරයෙකු විය. බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍යයකු වන වීරසේන මහතා 1958 සහ 1959 වසරවල ප්‍රසිද්ධ පාසල් ක්‍රීඩා තරගාවලියේ කවපෙත්ත විසි කිරීමේ ශූරයකු ලෙස ඇරඹූ මලල ක්‍රීඩා ගමන 1971 වසරේ අවසන් කළේය. වසර 12 ක් කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ජාතික ශූරයා වූ ඔහු වසර 9 ක් අඛණ්ඩව (1964 සිට 1975) කවපෙත්ත විසිකිරීමේ  ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේය.

 

ක්‍රීඩකයෙකු පමණක් නොව ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස ද වීරසේන මහතා ඉදිරියෙන් සිටි අයෙකි. වයස අවු. 37 දී මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයට සහ වයස අවු. 39 දී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වූ ඔහු ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රීඩා පරිපාලකවරයා ලෙසද ඉතිහාසයට එක්ව ඇත. හෙතෙම 1978, 1979, 1980, 1982 සහ 1996 යන වසරවල මලල ක්‍රීඩා සංගමයේ  මුල් පුටුවද, 1980 සහ 1981 වසරවල ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත. ඊට අමතරව ආසියානු මලල ක්‍රීඩා සංගමයේ කවුන්සිල් සාමාජිකයකු වූ ඔහු වසර 9 ක් (1998 - 2007) එම තනතුර දරා ඇත. ඒ හැර මෙරට පැරණිතම මලල ක්‍රීඩා සමාජයක් වන “එස්” ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය පුරා වසර 25 ක් දරා ඇත. මීට  අමතරව ඔහු ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි.


රන්ජිත් වීරසේන යනු මලල ක්‍රීඩාවෙන් මිල මුදල් ඉපයූ පුද්ගලයෙකු නොව සිය පෞද්ගලික ධනය  පවා මලල ක්‍රීඩාව වෙනුවෙන් වැය කළ පුද්ගලයෙකු ලෙසද හැඳින්විය හැකිය.


 දැනට වසර 10 කට ආසන්න කාලයක් දෙපා වාරු නැතිව කොල්ලුපිටිය ගාලු පාරේ අංක 368 දරණ සිය නිවසේ හුදෙකලා ව සිටින වීරසේන මහතා පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැති 2016 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් ඇගයීමට ලක් කෙරෙන “ක්‍රීඩා භූෂණ” සම්මානයෙන් ද පිදුම් ලැබීය. රන්ජිත් මෙරට මලල ක්‍රීඩාවේ අතීතය වර්තමානය සහ එහි අනාගතය ගැන අප සමඟ මෙසේ කීය.

 

“ඕනෑම විෂයයකට කළ සේවය ඇගයීමකට ලක් කිරීම ඉතාමත් වැදගත් දෙයක්. නමුත් කෙනෙකුට සම්මානයක් හෝ ඔහුගේ සේවය ඇගයීම කළ යුත්තේ මියගිය පසු නොව ජීවත්ව සිටියදීයි. මම මීට පෙර කිසිම අවස්ථාවක මෙවැනි සම්මානයක් ලබා නැහැ. ඇත්තටම මම එදා ජනාධිපතිවරයා අතින් “ක්‍රීඩා භූෂණ” සම්මානය ලබා ගන්නා විට මට දැනුණු සතුට කියා නිම කරන්න බැහැ. ක්‍රීඩාවේ ප්‍රවීණයින් 9 දෙනෙකුට එදා එම සම්මාන ප්‍රදානය කෙරුණද, මලල ක්‍රීඩාවට පුහුණුකරුවකු ලෙස විශිෂ්ට සේවයක් කළ ඩර්වින් පෙරේරාට එය ලබාගන්න අවස්ථාව අහිමි වුණා. ඔහුත් එදා ජීවත්ව සිටියා නම් මොන තරම් සතුටකට පත්වෙයිද යන්න මට තේරුම් ගත හැකියි.”

 

 “මෙරට මලල ක්‍රීඩාවේ විශිෂ්ටතම යුගය අපි දුවපු, පැනපු කාලය කියලා මට හිතෙනවා. අපේ යුගයේ ඩන්කන් වයිට්, එස්.එල්.බී. රෝසා, ඩබ්. විමලදාස, විමලසේන පෙරේරා සහ සුනිල් ගුණවර්ධන ඇතුළු මී. 4ං400 සහාය දිවීමේ කණ්ඩායම් සමඟ විශාල පිරිසක් හිටියා. අඩු පහසුකම් සහිත වුවද අපේ මලල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගියා. ඊට පස්සේ හොඳම යුගය ලෙස 1990 - 2000 වසර 10 හඳුන්වන්න පුළුවන්.

 

 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලින් ආරම්භ වූ ජාත්‍යන්තර පදක්කම් දිනන යුගය සුසන්තිකා ජයසිංහ 2000 වසරේ ඔලිම්පික් පදක්කම දිනන තෙක් සුවිශේෂී ගමනක් ඉදිරියට ගියා. එම යුගයේදී සෑම තරග ඉසව්වකදීම එක් අයෙක් ඉවත්වන (විශ්‍රාම යෑම) විට තවත් කීප දෙනෙකු තරගකාරී ලෙස එම හිඩස පිරෙව්වා. සුගත්, දර්ශා, ශ්‍රියානි, රොහාන් වැනි පිරිස ජාත්‍යන්තර පදක්කම් දිනන සටනේ හිටියා. ඔවුන් 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිට ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු ක්‍රීඩා උළෙල, ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙළ, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල තෙක් ඉදිරියට ගියා. පදක්කම් දිනුවා. නමුත් සුසන්තිකා 2000 වසරේ සිඞ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දිනූ රිදී පදක්කමෙන් පසු මේ වන තෙක් වසර 17 කින් අපට පළමු පෙළ ජාත්‍යන්තර පදක්කමක් දිනාගන්නා බැරි වුණා. ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් දැක්වූ මෙම දක්ෂතා ඉන්දියාවට පවා ප්‍රදර්ශනය කිරීමට මෙතෙක් හැකිවී නැහැ. අපට ඒ ගැන ආඩම්බර විය හැකියි.

 

“ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ජයග්‍රහණ පසු බැස්මේ වරද ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර නොවෙයි. අපිට තවමත් දක්ෂ ක්‍රීඩක ක්‍රීිඩිකාවන් දවසින් දවස හඳුනා ගන්න පුළුවන්. නමුත් එම දක්ෂතා ඔපමට්ටම් කර තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුල් වැඩපිළිවෙළක් නැහැ. එහි වගකීම ක්‍රීඩා අමාත්‍යාංශයට සහ මලල ක්‍රීඩා පරිපාලනයට පැවරෙනවා.

 

 වසර 4 කට වරක් එන ඔලිම්පික් ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හෝ වසර 2 කට වරක් එන ආසියානු ශූරතා වැනි තරගාවලියන්ට සුළු කාලයක් පුහුණුවීම් කර විශාල කණ්ඩායමක් ඉදිරිපත් කිරීමෙන් ජාත්‍යන්තර පදක්කම් දිනන්න බැහැ. අවම වශයෙන් මාස දෙක තුනකට සැරයක් හෝ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවලට (තායි විවෘත, සිංගප්පූරු විවෘත, මලයාසියානු විවෘත සහ බෲනායි විවෘත වැනි) ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කළ යුතුයි. එවිට ඔවුන්ට තරග අත්දැකීම් මගින් පෞද්ගලික දක්ෂතා වර්ධනය කළ හැකියි. තවත් අපේ පසුබෑමට එක් හේතුවක් තමයි ගමෙන් හමුවන දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එම කුසලතා වර්ධනය කිරීමට සුදුස්සන්ට යොමු නොකිරීම පුහුණු අත්දැකීම් නැති ගමේ සිටින පුහුණුකරුවන් සහ පාසල් ක්‍රීඩා ගුරුවරුන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විනාශ කරනවා. එහෙම කරන්නේ නගරයේ සිටින පුහුණුකරුවන්ට ලැබෙන වරප්‍රසාද ඔවුන්ටත් ලබා ගැනීමේ කුහක චේතනාවෙනුයි. එවිට ළමයා ගමටත් නැතිවෙනවා නගරෙටත් නැතිවෙනවා.

 

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබාදී, විශේෂඥ පුහුණුව ලබා දීමෙන් අපට මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නැහැ. බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ශිෂ්‍යත්ව ලබාගෙන ඒ රටවල නතර වෙනවා. තවත් සමහරු සුපිරි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග විශේෂඥ පුහුණුවට ගොස් අසීමිත පුහුණුව ලබා ආබාධ ඇතිකර ගන්නවා. එම නිසා මම හිතන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවට පිටරට යවනවට වඩා හොඳ විශේෂඥ පුහුණුකරුවන් කාලෙන් කාලයට මෙරටට ගෙන්වා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලබා දීම මගින් ජාත්‍යන්තර පදක්කම් සටන ජයගත හැකියි”

 

අද මලල ක්‍රීඩා පරිපාලනයට සුගත් තිලකරත්න වැනි ප්‍රවීණ ක්‍රීඩකයෙක් පැමිණීම ගැන සතුටු විය හැකියි. නමුත් සුගත් ට තවමත් පරිපාලන අත්දැකීම් මදි බව පේනවා. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලකයින්ගේ ද සහයෝගය ලබා ගතහොත් ඉදිරි ගමනක් යා හැකියි. මම මලල ක්‍රීඩා සභාපති සහ ඔලිම්පික් කමිටු සභාපති කාලේ එහි සේවය කරපු පිරිසට පඩි ගෙව්වේ මගේ අතේ වියදමින්. අද එවැනි තත්ත්වයක් නැහැ. ක්‍රීඩා අමාත්‍යංශය අවශ්‍ය වියදම් දරනවා. දැන් පත්වෙන පරිපාලකයින්ට තියෙන්නේ ක්‍රීඩාවේ දියුණුව සඳහා හොඳ සැලසුම් ඉදිරිපත් කිරීම පමණයි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...