. පෙරළිකාරයන් දෙදෙනකුගේ ගලඋඩ සටන | කෙළිමඬල
2018 ජූනි මස 18 වැනි සඳුදා
පෙරළිකාරයන් දෙදෙනකුගේ ගලඋඩ සටන
2017-06-11 21:10:25 | සැකසුම : මොහාන් ප්‍රනාන්දු

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට එංගලන්තයට පැමිණෙද්දී ඕනෑම කණ්ඩායමක් හමුවේ පරාජය වීමට ඉඩ ඇතැයි විචාරකයන්ගේ සරදමට ලක්වූ කණ්ඩායම් දෙකක් බවට පත්ව සිටි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මේ වන විට අවසන් පූර්ව වටයේ ස්ථානයක් සොයන කණ්ඩායම් දෙකක් බවට පත්ව තිබේ.

මෙවර තරගාවලියේ පෙරළිකාරයන් දෙදෙනා වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (12) කාඩිෆ් හී පැවැත්වෙන තරගය කිසිවකු නොසිතූ පරිදි  තීරණාත්මක එකක් මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ධ අවසන් පූර්ව තරගයක මුහුණුවරක් ගන්නා තරමට උණුසුම් එකක් බවට පත්වී තිබේ. තවත් අතකින් එය හැඳින්විය හැක්කේ පෙරළිකාරයන්ගේ ගල උඩ සටනක් ලෙසිනි.

මේ දෙපිලම මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වූයේ එකිනෙකට සමාන ප්‍රකාශ දෙකකින් ඔවුනොවුන්ගේ කණ්ඩායම් අවතක්සේරුවට ලක් කළ සැමට පිළිතුරු දෙමිනි. හැම අතින්ම පහර කෑමට ලක්විය හැකි කණ්ඩායමක් ලෙස මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවීම එක් අතකින් තම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සැහැල්ලු කළ කතාවක් බව එංගලන්තයට පැමිණි මොහොතේ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් කීවේය. ඒ හා සමානව ලේබල්ගතව සිටි පාකිස්තානු පිලේ නායක සර්ෆ්‍රාස් අහමඞ් කියා සිටියේ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන සිටින තම කණ්ඩායමට තවත් නැතිවෙන්නට දෙයක් නොමැති බවයි.

අවසානයේදී එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන පසුවූ ශ්‍රී ලංකා පිල වෙතින් දෙවැනි තැන සිටි ඉන්දියාව පරාජයට පත්වූ අතර පෙරමුණේ පසුවූ දකුණු අප්‍රිකාව පරාජය කිරීමට අටවැනි තැන සිටි පාකිස්තානුවෝ සමත්වූහ. මේ තරග 2ම විචාරකයන්ගේ නළල් තල රැළි ගැන්වූ අතර කවුරුත් නොසිතූ පරිදි හෙට තරගයට කාගෙත් අවධානය යොමුවී තිබේ. අනිත් අතට දුර්වල යැයි කියන මේ කණ්ඩායම් දෙක පරදවා වේලාසනින්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවටත්, දකුණු අප්‍රිකාවටත් තිබූ බලාපොරොත්තු හිස් අහසේ විසිරී ගොස් තිබිණි.  

ශ්‍රී ලංකා පිල හෙට තරගයට සහභාගි වන්නේ සිය කණ්ඩායමේ තවත් පිතිකරුවකු අහිමිකරගනිමිනි. ඉන්දියාව සමග පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වූ කුසල් ජනිත් පෙරේරාට තරගාවලිය අහිමිවූ අතර ඒ වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා තිබේ. පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගාවලියට අවසන් වරට ක්‍රීඩා කළ ධනංජය මැදපෙළ පිතිකරුවකු ලෙසත්, පිටදඟ පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරයි.

ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටින ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමගම එංගලන්තයට ගොස් එහි දේශගුණයට හුරුවෙමින් පුහුණුවීම්වල නිරතව සිටි අතර චාමර කපුගෙදර ආබාධයකට ලක්වීම නිසා ධනුෂ්කට කණ්ඩායමේ දොරටු විවර විය. එහෙත් කුසල් ජනිත්ගේ ආබාධය නිසා ඩිල්රුවන් සිටියදීම ධනංජය ද සිල්වා ගෙන්වීමට සිදුවී තිබුණේ පිතිකරුවකු ආදේශ කිරීමට අවශ්‍යවූ බැවිනි. ඇරත් ධනංජය පිටදඟ පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරන බැවින් පිටදඟ පන්දු යවන්නකු වන ඩිල්රුවන්ට තවදුරටත් පෝලිමේ සිටීමට සිදුවී තිබේ.

පෙරළිකාර ජයග්‍රහණ දෙකකින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවධානය තමා වෙත ඇද ගත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හෙට තරගයට එක්වන්නේ  ජ්‍යෙෂ්ඨ හා යොවුන් ක්‍රීඩකයන්ගේ අඩුවැඩි නැති සංකලනයක් සහිතවය. දකුණු අප්‍රිකානු තරගයේදී පාකිස්තානු පිලේ පන්දු යැවීමේ දස්කම් ඉහළින් තිබූ අතර ඉන්දියාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය ඉහළින් තිබිණි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට එක්දින තරගයක් පැවැත්වූයේ 2015 ජූලි මාසයේදීය. එවර ශ්‍රී ලංකාවේ සංචාරය කළ පාකිස්තානුවන් තරග 5ක එක්දින තරගාවලිය 3-2කින් ජයගත්තේය.

එහෙත් හෙට තරගය දෙපිලටම විවෘත එකකි.


- 077

(ඡායාරූපය - රොයිටර් අනුග්‍රහයෙනි)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට...
2018-06-12 16:34:10
මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු ද...
කොදෙව්වෝ වසර 10 කට පසු ශ්‍රී ලංකාව පරදවති...
2018-06-11 10:22:52
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් අත්කර ගැනීමට බටහිර...