. පන්දු රැකීම අපව නැතිකළා - මැතිව්ස් | කෙළිමඬල
2017 අගෝස්තු මස 20 වැනි ඉරිදා
පන්දු රැකීම අපව නැතිකළා - මැතිව්ස්
2017-06-13 19:44:35 | අන්තර්ජාතික ක්‍රිකට් සභාව් අනුග්‍රහයෙනි

ශුරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හැඳින්විය හැක්කේ අතට ගත් බත්පිඬ ඉහිරී ගිය අවස්ථාවක් ලෙසිනි. තරගයේ 30 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තරමටම එහි පාලනය සියතට ගෙන සිටියේය. ලකුණු 237 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු පිලේ හය වැනි කඩුල්ලත් ලකුණු 137 දී බිඳ වැටීමෙන් පසුව තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පිල වෙත බර වී තිබිණ.


එතැන් සිට අවදානම් ගමනක යෙදුණු පාකිස්තානු පිලේ නායක සර්ෆ්‍රාස් අහමඞ්ගේ උඩපන්දු දෙකක්ම 39 වැනි ඕවරයේදී සහ 41 වැනි ඕවරයේදී ගිළිහී යාම පන්දු යවන්නන් හතර දෙනකුගෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායමට දරාගත නොහැකි විය. මෙවන් තරගාවලියකදී ලකුණු 236 ක් යනු කිසිසේත්ම ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවේ. 40 වැනි ඕවරය වන විට පාකිස්තානුවන් පීඩනයට පත්කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වූවද පිට පිටම උඩපන්දු අතහැරීම නිසා පාකිස්තානුවෝ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දෑත් අතරින් රිංගා යමින් අවසන් පූර්ව තරගයේ දොරටුව සොයා ගත්හ.


ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් ගිළිහී ගිය උඩපන්දු තුනම ලසිත් මාලිංගගේ පන්දු හමුවේ විය.


ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම සම්බන්ධයෙන් තරගයෙන් පසුව නායක මැතිව්ස් අදහස් දැක්වූයේ මහත් කළකිරීමෙනි. තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මැතිව්ස්ට ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න සහ ඔහු ඒවාට දුන් පිළිතුරු මෙසේ වෙයි


ප්‍රශ්නය - ඇන්ජලෝ, මේ වෙනකොට ක්‍රිකට් ලෝකය පුරාම තියෙන පොදු හැඟීම වෙලා තියෙන්නේ ලෝකයේ දුර්වලම පන්දු රකින්නන් සිටින කණ්ඩායම ශ්‍රී ලංකා පිල කියන එකයි. අද (සඳුදා) තරගයේ තිබුණ තත්ත්වයන් එක්ක බැලුවාම ඒ අදහස එක්ක ඔබ එකඟ නොවෙනවා නම් ඒ ඇයි?


මැතිව්ස් - අද තරගයේ සිද්ධවුණ දේවල් බැලුවාම ඒක හරිම කණගාටුදායක තත්ත්වයක් තමා. අපි ඒ උඩපන්දු අල්ලා ගත්තා නම් මේ කතාව වෙනස් විදිහකට ලියැවෙන්න තිබුණා. ඉතාමත් තීරණාත්මක අවස්ථාවලදී තමා ඒ උඩපන්දු ගිළිහී ගියේ. පළමු ඕවරයේදී සහ අවසානයට ළං වෙද්දී. විශේෂයෙන්ම අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායමක් වශයෙන් සර්ෆ්‍රාස්ට ගැලවෙන්න දුන්න අවස්ථාව හරිම කණගාටුදායකයි.


මා හිතන්නේ අපි ටිකක් දියුණු වෙලා තියෙනවා තමයි. ඒත් නිසැක වශයෙන්ම අද නම් අපේ දවස නෙමේ...


ප්‍රශ්නය - මේවගේ කතා අපිට හැමදාමත් අසන්නට ලැබෙනවා. පන්දු රැකීම දියුණු වෙලා කියලා ඔබත් කියනවා..අසංග ගුරුසිංහත් කියනවා. ඒත් කාලයක් තිස්සේ ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පන්දු රැකීම දියුණු කරගන්න සැබවින්ම අවංක උත්සාහයක් තියෙනවා ඔබ හිතනවාද ?


මැතිව්ස්  - ඔව්. ඇත්තටම මේ ක්‍රීඩකයන් ඒ වෙනුවෙන් විශාල උත්සාහයක් ගත්තා. අදඅ පි උඩපන්දු තුනක් අතහැරියා තමයි. ඒත් ක්‍රීඩකයනුත් සහායක මණ්ඩලයත් (පුහුණුකරුවන්) ඒ වෙනුවෙන් අවංක උත්සාහයක් ගත්තා. අපි ඒ ගැන  කතා කළා. අදහස් හුවමාරු කරගත්තා, ඒ වෙනුවෙන් විශාල ශක්තියකුත් වැය කළා.


ප්‍රශ්නය - උඩ පන්දු අතහැරීම (මෙම තරගයේ පරාජය සම්බන්ධයෙන්) එක් තීරණාත්මක සාධකයක්. ඒත් ශ්‍රී ලංකා පිලට ලකුණු කිහිපයක් මදි වුණාය කියා ඔබ හිතනවාද


මැතිව්ස් - ඇත්තටම ඔව්. තරගයක් පැරදුනාම කියන්න පුළුවන් ඒකට හේතුව දුර්වල පිතිහරඹය නැත්නම්, දුර්වල පන්දු යැවීම නැත්නම් දුර්වල පන්දු රැකීම කියලා. ඒත් මා නම් හිතන්නේ ඒක එක්තරා ආකාරයක පුදුම සහගත තණතීරුවක්. අපට ලකුණු 30 ක් 40 ක් මදිවුණා කියලා හොඳටම පෙනෙන්න තිබුණා. ඒ කොහාම වුණත් අපි ඒ ලකුණු සංඛ්‍යා ආරක්‍ෂා කරගන්න සටන් වැදුණ ආකාරය ගැන නම් මට විශාල ආඩම්බරයක් තියෙනවා. ඒ ආඩම්බරය අපට තිබුණත් පන්දු රැකීම අපේ බලාපොරොත්තු කඩකළා.


මම විශේෂයෙන්ම මේ පන්දු යවන්නන්ගේ ධෛර්යය අගය කළ යුතු වෙනවා. ඔවුන් පන්දුවට පහර දීමේදීත් හොඳින් ක්‍රීඩා කළා විතරක් නෙමේ හොඳින් පන්දු යැව්වා. ඒත් අවාසනාවට වගේ ඔවුන්ට අප වෙනුවෙන් තරගය ජයගන්න බැරිවුණා. ඔවුන් පන්දුවට පහර දුන් ආකාරය වගේම පන්දු යැවූ ආකාරයත් අඩම්බරයට කරුණක්.


ප්‍රශ්නය - ඔබේ කණ්ඩායමේ සමබරතාව පිළිබඳ ඔබගේ කිසියම් කණස්සල්ලක් තියෙනවාද ? ධනංජය ද සිල්වා වුණත් මේ කණ්ඩායමට එක්වුණේ පැය 48 කටත් අඩු කාලයකදී. ඔබට වෙනත් ඉදිරිපෙළ පන්දු යවන්නෙක් සිටියෙත් නෑ.


මැතිව්ස් - ඇත්තටම එහෙම නෑ. මේ වගේ තණතීරුවකදී අපි අතිරේක පිතිකරුවෙක් ක්‍රීඩා කළ යුතුයි. අනෙක කාසියේ වාසිය දිනාගන්න එක හොඳද නැතිනම් අහිමි වන එක හොඳද කියලත් හිතාගන්න බැරිවයි හිටියේ. ඒ නිසා පළමුව පන්දු යවන්න වුණා නම් වේග පන්දු යවන්නන් හතර දෙනෙක් ඉන්න එක හොඳයි. අනික් අතට පළමුවෙන් පන්දුවට පහර දෙන්න වුණා නම් පිතිකරුවන් හත් දෙනෙක් ඉන්න එක හොඳයි.


කොහොම වුණත් ඒ කිසිදෙයක් අපේ වාසියට වුණේ නෑ. අනෙක් පැත්තෙන් බලනකොට ධනංජයට වුණත් එක පාරටම කණ්ඩායම ඇතුළට ඇවිදින් මේ වගේ තත්ත්වයන් යටතේ ලකුණු ලබාගන්න එක පහසු දෙයක් නෙමේ. ඒත් පිතිකරුවෙක් සම්බන්ධයෙන් අපට වෙනත් විකල්පයක් තිබුණේ නෑ. තරංගත් තරග තහනමකට ලක්වෙලා හිටියේ. ඒ නිසා අපට තිබුණ විකල්ප ඉතාමත් සීමිතයි.


ප්‍රශ්නය - තවත් ලෝක මට්ටමේ තරගාවලියකදී ලසිත් මාලිංගව දැකගන්න අපට පුළුවන් වේවි කියලා ඔබ හිතනවාද ?


මැතිව්ස් - මට ඒ ගැන හරියටම කියන්න බෑ. ඔහු ඒ ගැන කිසිදෙයක් කතා කරලා නෑ. ඒ කෝක වුණත් ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩායට අති මහත් සේවයක් කළ ක්‍රීඩකයෙක්. ඔහු අති විශිෂ්ටයි. ඔහු අද දවසේ දැරූ උත්සාහය කොයි තරම්ද කියලාත් අපි හොඳින්ම දැක්කා.


අනෙක, අද ගිළිහී ගියේ ඔහුගේම පන්දු වලින් ලැබුණ උඩපන්දු වීමත් මහ අවාසනාවක්. ඒවා අල්ලා ගත්තා නම් ඔහු ඊට වඩා වෙනස් පන්දු යවන්නෙක් වෙන්න තිබුණා. එත් ඔහු හදවතින්ම පන්දු යැව්වා. ඔහු අපට ශූරයෙක්


ප්‍රශ්නය - ඔබට කොහොමත් හොඳ ආරම්භයක් ලැබුණා. කාසියේ වාසිය මෙම තීරණයට කිසියම් බලපෑමක් කළා කියලා ඔබ හිතනවාද ?


මැතිව්ස් - එහෙමම නෑ. මා හිතන්නේ ඒක (කාසියේ වාසිය) ඕනෑම පැත්තකට යන්න පුළුවන්. කාසියේ වාසිය තීරණාත්මක යය හිතෙන්නේ තණතීරුවේ තරමක තෙත ගතියක් තිබුණ නිසා. එහි තරමක කොළ පැහැයක් තිබුණා. ඒත් ඇත්තටමඑ ්ක පුදුමාකාර තණතීරුවක් තමයි. දෙවැනි වර පන්දුවට පහර දීමත් ඒ තරම් ලේසි නෑ. වේග පන්දු යවන්නන්ට වුණත් ඒක තරමක් මන්දගාමී වුණා.
 

සැකසුම - දමින්ද විජේසූරිය


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...