. ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති | කෙළිමඬල
2017 නොවැම්බර් මස 22 වැනි බදාදා
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති
2017-09-14 22:30:22 | දමින්ද විජේසූරිය

තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට එහි අගාධය පතුළේම එරී සිටී. ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් රැසකටම ඒ සඳහා ආරාධනා කර ඇතත් ඒ සියලු දෙනාම පාහේ තේරීම් කමිටු සාමාජිකයකු වන්න’යි කළ ඉල්ලීම ඉවත දමා තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් හෙට (15 වැනිදා) පැවැත්වීමට නියමිත ක්‍රිකට් වැඩමුළුව සඳහා සහභාගි වීමටද හිටපු ක්‍රීඩකයන් අතර සිටින ජ්‍යෙෂ්ඨයෝ අදිමදි කරමින් සිටිති. කෙසේ වෙතත් ඇතැම් දෙනා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වෙමින් යද්දී එල්ල වූ විවේචන හමුවේ සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්විය. එරික් උපශාන්ත, රංජිත් මදුරුසිංහ සහ රොමේෂ් කළුවිතාරණ එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

ජයසූරිය මහතාට පෙර සිටි තේරීම් කමිටුවේ සාමාජිකයන් වූයේ කපිල විජේගුණවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ අමල් සිල්වා මහත්වරුන්ය. එහෙත් ක්‍රීඩා ඇමතිවරයා විසින් රාත්‍රී 11.45 ට නිකුත්කරන ලද ගැසට් නිවේදනයක් මගින් ඔවුන් ඉවත් කිරීම හේතුවෙන් එහි සාමාජිකයන්ද සිටින්නේ මහත් සන්තාපයෙනි.

ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන අරවින්ද ද සිල්වා මහතා නැවතත් තේරීම් කමිටුවට කැඳවීමේ උත්සාහයක් තිබුණද ඒ වෙනුවෙන් ඔහු සුබදායී ප්‍රතිචාරයක් දක්වා නැත. ඔහුගේ අදහස වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට කටයුතු සිදුවෙමින් යන ආකාරය වෙනස් වන්නේ නම් මිස මෙම තත්ත්වයට විසඳුම් සෙවිය නොහැකි බවයි.

“මේවා කරන්නන් වාලේ කරන්න පුළුවන් වැඩ නෙමේ. ටිකක් ඉවසීමෙන් බලලා, සැලැස්මක් ඇතිව කළ යුතු දේවල්” යයි කී අරවින්ද ද සිල්වා මහතා...

“අපි ඇවිදින් මෙන දේ කීවත් ඒවා සිද්ධ වෙන්නේ නැතිනම් අපේ අදහස් වලින් වැඩක් නෑනේ...හිතූ හිතූ ආකාරයයට පුහුණුකරුවන් ගේනවා, යවනවා...ක්‍රිකට් කමිටු රැස්වීම් වලට විධායක කමිටු නිලධාරීන් එන්නේ නෑ..එතකොට අපි කරන්න යන්නේ මොකක්ද, අපේ සැලැස්ම මොකක්ද කියලා එයාලා දන්නේ නෑ...මේ වගේ තත්ත්වයක් තියාගෙන ඉදිරියට යන්න බෑ” යයිද පැවසීය.

සියල්ලම අවාසියට සිදුවෙමින් යද්දී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ක්‍රීඩා සමාජය වන සී.සී.සී. ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයන් සහ නිලධාරීන් එකම විකල්පය බවට පත්ව තිබේ. 80 දශකය අගභාගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මේ වන විට තේරීම් කමිටුවේ සභාපති තනතුරට ඉතාමත් ආසන්න තැනැත්තා වී සිටී. එහෙත් ඒ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත්තේ ලැබ්රෝයි මහතා මේ වන විට ඇෆ්ඝනිස්ථානයේ පැවැත්වෙන තරගාවලියක තරග තීරකවරයා වශයෙන් කටයුතු කරන බැවිනි.

වාර්තා වන පරිදි පාකිස්තානයට එරෙහි තරගාවලිය සඳහා ටෙස්ට් කණ්ඩායම මේ වන විටත් තෝරා ගනු ලැබ ඇතත් බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ එය අනුමැතිය සඳහා ක්‍රීඩා ඇමතිවරයා වෙත යැවීමට පෙර තේරීම් කමිටු නිලධාරීන් සිවුදෙනකුගේ අත්සන් සොයා ගැනීමයි. මෙම තරගාවලිය සඳහා වූ මූලික සංචිතය තෝරා ගන්නා ලද්දේත් තේරීම් කමිටු නිලධාරීන්ගේ සේවය නොමැතිව, කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය විසිනි.

උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙතරම් කම්පනයට පත්ව සිටින්නේද යත් පෙරේදා (13 වැනිදා) රාත්‍රී 11.20 ට පමණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ තේරීම් කමිටුව සම්බන්ධයෙන් අනුමාන ප්‍රකාශයන් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

“2017 සැප්තැම්බර් මස 18 වන දින නව තේරීම් කමිටුව තීරණය කර පත්කරනු ලබන අතර 2017 සැප්තැම්බර් 20 වැනිදා පාකිස්තානයට එරෙහිව සංචාරයට සහභාගි වන ටෙස්ට් සංචිතය නම් කිරීමට එකී තේරීම් කමිටුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු මාධ්‍ය ආයතන වෙත දන්වා සිටී” යයි එම මාධ්‍ය නිවේදනයේ සටහන් විය.

ජාතික  කණ්ඩායමේ පුහුණුකරුවෝ මේ දිනවල නිවාඩු ලබා සිටිති. පාකිස්තානු තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 24 වැනිදා ඩුබායි බලා පිටත්ව යන අතර පළමු ටෙස්ට් තරගය 28 වැනිදා අබුඩාබි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

 

husen-riyad2017-09-15 06:02:42
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි.
kumar (galf)2017-09-14 20:01:45
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ...

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...