. චාමර සිල්වාට වසර දෙකක තහනමක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
චාමර සිල්වාට වසර දෙකක තහනමක්
2017-09-17 17:49:17 | දමින්ද විජේසූරිය

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය අතර පැවැති අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගයකදී අවිචාරාත්මකව ක්‍රීඩා කිරීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජ දෙකේ නායකයන් දෙදෙනා වූ චාමර සිල්වාට සහ මනෝජ් දේශප්‍රියට වසර දෙකක් යනතුරු කිසිම ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විය නොහැකි පරිදි තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෙනසුරාදා තීරණය කළේය. මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතුරින් චාමර සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග තුනටම සහභාගි වූ පළපුරුදු ක්‍රීඩකයෙකි.

මෙම තහනම අනුව වසර දෙකක කාලයක් යන තුරු මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ක්‍රිකට් පුහුණු කිරීම සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම තහනම් කෙරේ. ඔවුන් දෙදෙනාගෙන් චාමර සිල්වා පානදුර කණ්ඩායමේ නායකයා පමණක් නොව පුහුණුකරුවාද වෙයි.

සෙනසුරාදා (16 වැනිදා) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණයට එළැඹිණ. ඊට අමතරව පහත සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතික තීන්දුවකට එළැඹිණ.

1. චෝදනාව එල්ල වූ තරගය බල ශූන්‍ය කිරීම සහ ඊට අනුරූපව ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කිරීම.
2. තරගයක් සඳහා ගෙවනු ලබන තරග මුදල මෙම ක්‍රීඩා සමාජ දෙකින්ම ආපසු අයකරගැනීම.
3. ක්‍රීඩා සමාජ දෙකටම රුපියල් ලක්ෂ 5 ක් (500,000.00) බැගින් වූ දඩයක් නියම කිරීම.
4. මෙම තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකේ සෙසු සියලුම ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට වසරක පූර්ණ ක්‍රිකට් තහනමක් (ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ක්‍රිකට් පුහුණු කිරීම සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම) පැනවීම.
5. තරගයේ නිලධාරීන් ලෙසින් කටයුතු කළ අය සම්බන්ධයෙන් නියමාකාරයෙන් කටයුතු කිරීම සඳහා විනය පරීක්‍ෂණයක් පැවැත්වීම.

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගයක් පාවාදීම සමබන්ධයෙන් පැවැති පරීක්‍ෂණයක් (ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ මාතෘකාව) සම්බන්ධයෙන් වුවද සිද්ධියට සම්බන්ධ වූ ක්‍රීඩා සමාජ දෙකට කිසිම තහනමක් පනවා නැත. ඒ වෙනුවට ක්‍රීඩා සමාජ දෙකටම රුපියල් ලක්‍ෂ 5 ක් බැගින් වූ දඩයක් නියම කර තිබේ.

ක්‍රීඩා සමාජ දෙකේම ප්‍රබල නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේද ඉහළ නිලතල දරන්නෝ වෙති.
මෙම තරගය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්‍ෂණ ආරම්භ වූවද එම පරීක්‍ෂණ දිගින් දිගටම ඇදී ගියේය. දේශීය ක්‍රිකට් ක්‍රීඩාව බාරව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති කේ. මතිවානන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පරීක්‍ෂණ අවසන්ව මාස දෙකකට ආසන්න කාලයක් ගතවූවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට විධායක කමිටුවට පියවර ගත්තේ පසුගිය සෙනසුරාදාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ මාතෘකාව අනුව මෙය ක්‍රිකට් තරගයක් පාවාදීම සමබන්ධයෙන් පැවැති පරීක්‍ෂණයක් වූවත් දෙවැනි වරටත් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සටහන් වන්නේ අදාළ කණ්ඩායම් දෙකම වරදකරුවන් කර ඇත්තේ නොමනා හැසිරීම (MISCONDUCT) සහ ක්‍රීඩාවේ ජීවගුණය ආරක්‍ෂා කරමින් ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් බවයි.

මේ වසරේ ජනවාරි 23, 24 සහ 25 දිනවලදී මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3 ක ජයක් අත්කරගත්තේය. එක් එක් දිනයන්හිදී කණ්ඩායම් දෙකම ලබාගත් ලකුණු සටහන් වන්නේ 362 යි, 208 යි සහ 607 ක් ලෙසිනි. අවසන් දිනයේ කඩුලු 25 ක් දැවී ගොස් ඇතත් දෙපිලම එක්ව ලබාගත් ලකුණු සංඛ්‍යාව 607 කි.

අවසන් දිනයේදී පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 243 ක් ලබා ඇත්තේ ඕවර 23 කිනි. ඉන් අනතුරුව කළුතර පී.සී.සී. පිල ඕයර 22.5 කදී ලකුණු 197 ක් ලබාගත් අතර අපේක්‍ෂිත ඉලක්කය වූ ලකුණු 167 ලබාගැනීමට පානදුර ක්‍රීඩා සමාජය මුහුණ දී ඇත්තේ ඕවර 13.4 කට පමණි. පළමු පෙළ තරගයක් වුවද අවසන් දිනයේ ලකුණු වේගය ඕවරයකදී ලකුණු 10 ත් ඉක්මවා තිබේ.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානතම (පළමු පෙළ) තරගාවලියේ ‘බී’ තලයේ තරගයකි. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කිරීමෙන් අනතුරුව පානදුර ක්‍රීඩා සමාජයට ‘බී’ තලයේම තවදුරටත් රැඳී සිටීමට සිදුවන අතර කළුතර පී.සී.සී. පිලට ලබන වසරේදීත් පළමු පෙළ තරගාවලියට ඇතුළත් නොවී ‘සරවනමුත්තු’ කුසලාන තරගාවලියේ රැඳී සිටීමට සිදුව තිබේ.

මෙම තරගයේ ප්‍රතිඵලය වලංගු වූයේ නම් පානදුර ක්‍රීඩා සමාජයට පළමු පෙළ තරගාවලියේ ‘ඒ’ තලයට උසස්වීමක් ලැබෙන අතර කළුතර පිලද සරා කුෂලාන තරගාවලිය දක්වා ඇද වැටීමෙන් වළකිනු ඇත. එහෙත් තරගයේ ප්‍රතිඵලය අවලංගු කිරීම නිසා දෙපිලේම අපේක්‍ෂා සුන්වී තිබේ.

 

සන්ජේ ද සිල්වා2017-09-18 08:16:15
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක්‍රිකට් ඉවරවෙයි.මෙම ක්‍රීඩාව බේරගන්න ප්‍රබල පිරිසක් අවශ්‍යයි.ජනාධිපති සහ අගමැති අනිවාර්යයෙන්ම මෙයට ඉදිරිපත් විය යුතුයි. මේක නිකන් අත ඇරලා හිටියොත් මේ අසිරිමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මිනිසුන් ඈත් වෙයි. රටක නිවැරදි කලමනාකරණය තිබුනොත් එම රටේ සියලු දේ යහපත් මිනිසුන් පිනවන ලෙස සිදුවෙයි. චාමර තරඟ පාවාදීම දැනුම් දුන් කෙනා. දැන් ඔහු දඬුවම් විඳිනවා. ඒක හරිද? ශ්‍රීලංකා ක්‍රිකට් කියන්නේ ඒකාධිපති පාලනයක්. ජනාධිපතිටයි, අගමැතිටයි කොන්ද පන තියනවානම් මේ හොරුන්ට දඬුවම් දෙන්න. ඇත්ත එලියට ගන්න.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...