. බලාපොරොත්තු හේරත්ගේ මායා යෂ්ඨියේ | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
බලාපොරොත්තු හේරත්ගේ මායා යෂ්ඨියේ
2017-10-05 18:00:29 | .

වසර 35 ක සාඩම්බර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (6 වැනිදා) සිය මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට මුහුණ දීම සඳහා පිටියට පිවිසෙන්නේ දඟ පන්දු යවන්නන් කෙරේ  මහත් බලාපොරොත්තු තබමිනි.

අබුඩාබිහිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව විස්මිත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගිය රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා දෙදෙනාත් චයිනමන් පන්දු යවන්නකු වන ලක්ෂාන් සඳකැන් කෙරෙහිත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය බලාපොරොත්තු රඳවා තිබේ. 

ජයග්‍රහණයේ මායා යෂ්ඨිය රැඳී ඇත්තේ හේරත් අතය. වසර 2010 දී මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමුගෙන යාමෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් පිලට ජය ගෙන ආවේ හේරත්ගේ මායාකාරී පන්දු යැවීමෙනි.

විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 2014 දී බංග්ලාදේයේ චිතගොන් නුවරදී නවසීලන්තය කරකවා අතහැරි රංගන හේරත් සම්බන්ධයෙන් එවකට කණ්ඩායමේ සිටි පුහුණුකරුවා වූ පෝල් ෆාබ්‍රේස් මහතා කීවේ දඟ පන්දු යවන්නකු වශයෙන් පන්දුව යැවීමේදී අත කරකැවීමේ වේගය හොඳින්ම දන්නේ රංගන හේරත් බවයි.

තවත් හිටපු පුහුණුකරුවකු වූ ග්‍රැහැම් ෆෝඞ් මහතා වරෙක රංගන හේරත්ව ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්ට සමාන කළේය. 

පළමු ටෙස්ට් තරගයේ පරාජයෙන් පසුව පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අමහඞ් කියා සිටියේ රංගන හේරත්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් තමන්ට වැටහීමක් ඇති නමුත් නව පන්දුව ඒ තරමටම දඟ කැවේවි යයි තමන් කිසිවිට අපේක්‍ෂා නොකළ බවයි.

ලකුණු 136 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු පිතිකරුවන් අන්ද මන්ද කළ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා දෙදෙනාගේ පන්දු යැවීම නිසා පාකිස්තානු දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් ලකුණු 32 කට ඇද වැටිණ. 

එතැන් සිට පාකිස්තානුවන්ගේ බොටුව මිරිකාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ටිකෙන් ටික ග්‍රහණය දැඩි කරමින් ලකුණු 114 දී පාකිස්තානු ඉනිම කෙළවර කර දැමූහ. 

වමත් දඟ පන්දු යවන්නන් හමුවේ පාකිස්තානුවන්ට ඇත්තේ ඉතිහාසය පුරා ලියැවුණු දුර්වලතාවකි. රංගන හේරත්ගේ ටෙස්ට් කඩුලු 400 න් කඩුලු 100 ක්ම පාකිස්තානුවන්ට එරෙහිව වීම ඒ සඳහා ඇති එක සාක්කියක් පමණි. පාකිස්තානුවන් හමුවේ හේරත් මේ සෙල්ලම පටන් ගත්තේ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ 1999 සිට නොවේ.

එයින් වසර 10 කට පසුව, එනම් 2009 දී හදිසියේම එංගලන්තයේ සිට පැමිණ ගාල්ල ක්‍රීඩාංගණයට ගොඩ බැසීමෙන් පසුවය. 

අනෙක් අතට හේරත් මෙන්ම ඩිල්රුවන් පෙරේරාත් සම්මත ආකාරයේ දඟ පන්දු යවන්නන් වන නමුත් මේ දෙදෙනාම නව පන්දුවෙන් පන්දු යැවීමේ කලාව හොඳින්ම ප්‍රගුණ කළ දෙදෙනෙකි. නව පන්දුවේ පවතින දැඩි බව මැනවින් හසුරුවා ගැනීමට මේ දෙදෙනාම දනිති.

අන්තර්ජාතික දඟ පන්දු යවන්නන් අතරේ තවමත් තරුණයකු වන ලක්ෂාන් සඳකැන්ට අවශ්‍ය ගුරුහරුකම් දීමට හේරත් මෙන්ම ඩිල්රුවන්ද අවශ්‍ය තරමට අත්දැකීම් ලබා සිටිති. 

දැන් රෝස පැහැ පන්දුව යැවීමේ අවස්ථාවයි. එක්දින හෝ විස්සයි-20 තරගයකට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයේ ක්‍රීඩාවක් වන ටෙස්ට් තරගයකදී, රාත්‍රියේ යැවෙන පන්දුවට මුහුණ දීම පිතිකරුවන්ට පහසු අත්දැකීමක් නොවනු ඇත. එවන් තත්ත්වයකදී රංගන හේරත්ගේ භූමිකාව දෙස බලා සිටීමත් නැවුම් අත්දැකීමක් වනු ඇත. 

පළමු ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් විසින් රංගන හේරත් හඳුන්වන ලද්දේ “කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින ක්‍රීඩකයෙක් මෙන්ම අති විශාල සම්පතක්” ලෙසිනි. 

“මා දන්නේ නෑ එයා කොයි තරම් කාලයක් සෙල්ලම් කරයිද කියලා. ඒත් කණ්ඩායම වෙනුවෙන් එයාට යමක් කරන්න පුළුවන් වෙනතාක් කල් එයා ක්‍රීඩා කරන බව නම් විශ්වාසයි” 
“මා මේ ක්‍රීඩාවේ රැඳී සිටින තාක්කල් එයාගේ (රංගන හේරත්ගේ) සේවය ලැබෙනවා නම් හොඳයි” යයි සිය 400 වැනි ටෙස්ට් කඩුල්ලෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළ ක්‍රීඩකයා සම්බන්ධයෙන් චන්දිමාල් පැවසීය. 

අබුඩාබි තරගයේදී ලද ලකුණු 21 ක ජයග්‍රණය නිසා කලකට පසුව ටෙස්ට් තරගාවලියක ජය පැන් බීමේ අනගි අවස්ථාවක් ශ්‍රී ලංකා පිල අබිමුව තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මෙම තරගාවලියට ඇතුළත් වන්නේ තරග ටෙස්ට් දෙකක් පමණි.

එබැවින් තරගාවලිය ජය ගැනීමටනම් හෙට ඇරඹෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය නොවී සිටීමත් සෑහේ. 

ඇත්ත ඇති සැටියෙන් ගෙන බැලුවහොත් මෙහිදී පීඩනයට පත්ව සිටින්නේ පාකිස්තානු කණ්ඩායමයි. පාකිස්තානයේ අන්තර්ජාතික තරග නොපැවැත්වෙන බැවින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරග කරන පාකිස්තානු කණ්ඩායම තරගාවලි 9 කදීම සිය අපරාජිත වාර්තාව රැකගැනීමට සමත්ව තිබේ. 

වසර 2009 දී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයට ලක්වීමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලි 5 ක් ජයගත් පාකිස්තානු කණ්ඩායම තරගාවලි හතරක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ. පාකිස්තානුවන් පීඩනයට පත්ව සිටින්නේ තම අපරාජිත වාර්තාව රැකගත යුතු බැවිනි. 
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් යහපත් ස්ථානයකට දැන් පැමිණ සිටී. යම් හෙයකින් හෙට ඇරඹෙන තරගය පරාජය නොවී, 1-0 ක තරගාවලි ජයග්‍රහණයක් ලබාගත හැකි වුවහොත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී හයවැනි තැන අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව තිබේ. 

“අපි අපේ හොඳම දස්කම් නැවතත් මේ තරගයට ගේන්න ඕන. පාකිස්තානු පිල අවතක්සේරු කරන්න බෑ. මොකද අපි දන්නවා ඒ අය ඉතාමත් හොඳ කණ්ඩායමක් කියලා” යයිද චන්දිමාල් පැවසීය. 

මේ අතර පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් කියන්නේ රංගන හේරත් හමුවේ මීට වඩා ධෛර්ය සම්පන්නව ක්‍රීඩා කළ යුතු බවයි. 
“අපි මීට වඩා සුබවාදීව හේරත්ට මුහුණ දිය යුතුයි. අනෙක් අතට අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරගාවලියක් පරාජය වෙලාම නෑ. ඒ වාර්තාවත් වැදගත්. ඒක රැකගත යුතුයි” යයි සර්ෆ්‍රාස් අහමඞ් පැවසීය. 

පාකිස්තානු වේගපන්දු යවන්නා වන හසන් අලීගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බැවින් ඔහුගේ තත්ත්වය නැවතත් පරීක්‍ෂා කර බැලීමට නියමිතය. පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දවාගත නොහැකි වූ මොහොමඞ් අමීර් රෝස පැහැ පන්දුවෙන් සුපුරුදු දස්කම් අතරට එනු ඇතැයි පාකිස්තානු නායකයාගේ තවත් අපේක්‍ෂාවකි. 

දිවා/රාත්‍රී ටෙස්ට් තරග ආරම්භ වූයේ වසර 2015 දී ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඞ්හිදී පැවැති තරගයකිනි. හෙට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලෝකයේ හයවැනි දිවා/රාත්‍රී ටෙස්ට් තරගයයි. 

මීට පෙර ඩුබායිහිදී පැවැති එකම දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේදී පාකිස්තානු කණ්ඩායම විසින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරන ලදි. 


ශ්‍රී ලංකා සංචිතය 

දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු ගමගේ 

පාකිස්තානු සංචිතය 
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), අසාර් අලි, ෂාන් මසූඞ්, සාමි අස්ලම්, බාබර් අසාම්, අසාඞ් ෂෆීක්, හාරිස් සොහෝල්, යසීර් ෂා, මොහොමඞ් අමීර්, හසන් අලි, මොහොමඞ් අබ්බාස්, උස්මන් සමිඋද්දීන්, මොහොමඞ් අස්ගර්, බිලාල් අසීෆ්, මීර් හම්සා සහ වහබ් රියාස්


විනිසුරුවරු : 
ඉයන් ගෝල්ඞ් සහ රිචඞ් කෙට්ල්බරර් යන මහත්වරු (එංගලන්තය)
රූපවාහිනි විනිසුරු 
නයිජල් ලොන්ග් මහතා (එංගලන්තය)
තරග තීරක 
ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා (සිම්බාබ්වේ)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...