. හතුරුසිංහ පෙනෙන දුරින් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 23 වැනි බ‍්‍රහස්පතින්දා
හතුරුසිංහ පෙනෙන දුරින්
2017-11-09 20:41:14 | ...

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මෙතෙක් සිටි සාර්ථකම පුහුණුකරුවා වූ චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්ඩායම හැරයාමට තීරණය කර තිබේ. හතුරුසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ පිලේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුරදී තමන්ට බාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පැවසීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු තනතුර බාරගැනීමට හතුරුසිංහ මහතා සූදානමින් සිටින බවත් ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ දැනගන්නට තිබේ.


“මට මතක විදිහට ඔහු මට ලිපිය දුන්නේ ඔක්තෝබර් මාසයේ මුල් ෂතියේදීයි. ඔහු කිසියම් විශේෂිත හේතුවක් කිව්වේ නෑ. එයා කිව්වේ තවදුරටත් වැඩ කරන්න කැමති නෑ කියන එක විතරයි” යයි නසිමුල් හසන් මහතා ඩකා නුවර වාර්තාකරුවන්ට පවසා තිබේ.


“ඔහු වෘත්තීය පුහුණුකරුවෙක්. අපි මේ ප්‍රශ්නය දිහා වෘත්තීමය ආකාරයටයි බලන්නේ”


“අපි ඔහුට ඉන්න කියලා බල කරන්නේ නෑ. ඒත් මෙහෙම හදිසියේම යන්න හේතුව මොකක්ද කියලා අහන්න ඕනෑ” යයිද හසන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් දැනගන්නට ඇත්තේ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු තනතුර බාරගන්නේ නම් එම තනතුරේ රැඳී සිටින කාලය අතරතුර බාහිර බලපෑම් වලින් තොරව සිය කාර්යය කරගෙන යාමට ඇති නිදහස පිළිබඳ හතුරුසිංහ මහතා වැඩිදුර අවධානය යොමුකර ඇති බවයි. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනාධිකාරිය වෙනස්වීමකදී ඇතිවිය හැකි තත්ත්වයෙන් ආරක්‍ෂාව සලසාදීම සම්බන්ධයෙන් වත්මන් ක්‍රිකට් නිලධාරීන් ගනු ලබන පියවර පිළිබඳවද හතුරුසිංහ මහතා අවධානය යොමුකර ඇතැයි කියැවේ.


මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයද හතුරුසිංහ මහතාගේ සේවය දිගටම ලබාගැනීම සම්බන්ධයෙන් ඉතා විශාල උනන්දුවක් ගන්නා බවත් දැනගන්නට ඇත. එබැවින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින හොඳහිත බිඳගැනිමකින් තොරව ඔහුගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදමින් සිටින බවත් දැනගන්නට ඇත.


හතුරුසිංහ මහතා සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ගිවිසුම 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා බලපැවැත්වෙන බැවින් නීතිමය ක්‍රියාමාර්ගයකට යාමෙන් තොරව මෙය විසඳාගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපාය මාර්ග සොයමින් සිටී.


ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන ආකාරයට හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරය භාරගැනීමට එකඟවී ඇති නමුත් ඕස්ටේ්‍රලියාවේ ජේසන් ගිලෙප්සී සහ ඩීන් ජෝන්ස් දෙදෙනා සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් අතහැර නැත. එබැවින් මේ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ අවස්ථාවේදී ඉදිරිපත් නොවන බව උසස් නිලධාරීහු කිහිප දෙනෙක්ම ලංකාදීපයට පවසා සිටියහ.


ටෙස්ට් තරග 26 කට සහ එක්දින තරග 35 කට ක්‍රීඩාකර ඇති හතුරුසිංහ මහතා, ටේ්‍රවර් බේලීස් මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහායක පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. එකල ඕස්ටේ්‍රලියාවේදී පැවැති පුහුණු පාඨමාලාවකට යාමට අවසර ඉල්ලා එය නොලැබුණු කල්හි හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිල හැර ගියේය. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර සංගක්කාර මහතා විසින් හතුරුසිංහ මහතාගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමේ සමගින් රඳවා ගන්නා ලෙස ප්‍රබල ඉල්ලිමක් කරන ලද නමුත් එවකට සිටි ක්‍රිකට් බලධාරීහු ශ්‍රී ලංකා නායකයාගේ ඉල්ලීම දැහැටි දණ්ඩක් සේ ඉවත දැමූහ.


ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නෙරපීමෙන් අනතුරුව ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස්හී පුහුණුකරු ධූරය බාරගත් හතුරුසිංහ මහතා පසුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය තෝරාගත්තේය. එතැන් සිට බංග්ලාදේශ පිල ඉතාමත් සාර්ථක කණ්ඩායමක් ලෙසින් ඉදිරියට ගියේය. 2015 දී හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගැනීමෙන් අනතුරුව සිය මව් රටේ පැවැති එක්දින තරග වලදී පාකිස්තනය 3-0 ක් ලෙසත් ඉන්දියාව 2-1 ක් ලෙසත් පරාජය කළ බංග්ලාදේශය දකුණු අප්‍රිකාව 2-1 ක් සහ සිබ්බාබ්වේ 3-0 ක් ලෙසත් පරායට පත් කළේය. එමෙන්ම තම මව් රටේදී පැවැති ආසියානු කුසලානයේදී අනුශූරතාව හිමිකර ගැනීමටද සමත්විය.


තම මව් රටේදී ලකුණු 108 කින් එංගලන්තය පරාජයට පත්කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්වූ බංග්ලාදේශය දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගය (ශ්‍රී ලංකාවට එරෙහිව) ජයගනිමින් ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගැනිමටද සමත්විය. එමෙන්ම ශ්‍රී ලංකාව සමගින් පැවැති එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලියේද සම ජයග්‍රාහකයින්වූ බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පැවැත්වූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට අවස්ථාව හිමිකර ගත්තේය.


බංග්ලාදේශ කණ්ඩායමේ පිතිහරඹ උපදේශක වශයෙන් කටයුතු කළ තිලාන් සමරවීර මහතා වත්මන් ඉන්දීය සංචාරයේ සිට 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු වශයෙන් පත්වී සිටී.


2019 ලෝක කුසලාන දක්වා ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ භාරගත් ග්‍රැහැම් ෆෝඞ් මහතා ශූරයන්ගේ කුෂලාන තරගාවලියෙන් පසුව පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිස් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් එකඟ නොවූ ෆෝඞ් මහතා නිවාඩුවක් සදහා මව් රටට ගියද නැවත ලංකාවට නොපැමිණියේය.


පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් කටයතු කළ නික් පොතාස් මහතා මේ වනවිට ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බලයි.


ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඉන්දියාවේ තරග සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටින අතර ඉන්දීය සංචාරය නිමා වූ විගසින්ම ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට යාමට නියමිතය.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...