. ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 10 වැනි සඳුදා
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට
2017-11-14 18:14:29 | ශානුක අරවින්ද

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මූලික වටයෙන් පසුව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පසුගිය වතාවේදී මෙම තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමයි.

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරග ජයගත්තද, පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 3 කින් පරාජයට පත් විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඇෆ්ඝනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (14 වැනිදා) පැවැති තරගය නිමා වන තෙක් බලා සිටීමට සිදුවිය.

වර්ෂාව නිසා ඕවර 20 කට සීමා වූ එම තරගයේදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකුණු 134 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වූයේ ඉහළ ශුද්ධ ලකුණු වේගයක්ද රැඳවාගනිමිනි.

මෙම තරගයේදී ලබාගත් ශුද්ධ ලකුණු වේගය නිසා එතෙක් ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසු වූ ඇෆ්ඝනිස්තානය එහි පෙරමුණට පැමිණි අතර පෙරමුණේ රැදී සිටි පාකිස්තානය දෙවැනි ස්ථානය දක්වාද, දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වාද පහළට ඇද වැටිණ. මූලික වටයේ තරගයකදී පාකිස්තානය පරාජය කර තිබීමද ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීම සඳහා ඇෆ්ඝනිස්තානයට උපකාරී විය.

‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වෙමින් මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ‘කෙළිමඬල’ කළ විමසුමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා කියා සිටියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී මුල් කඩුලු 6 ලකුණු 41 ක් තුළ දැවී යෑම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ බවයි.

“පාකිස්තානය සමග පැවැති තරගයේදී අපි කාසියේ වාසිය දිනලා පළමුවෙන් පන්දුවට පහරදුන්නේ ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න හිතාගෙනයි. මොකද අපේ හොඳ පිතිකරුවන් ඉන්නවා. ඒත් ලකුණු 41 කට කඩුලු 6 ක් දැවීයෑම නිසා අපේ බලාපොරොත්තු සුන් වී ගියා.” යැයිද හලංගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියට සහභාගි වූ ප්‍රබල ඉන්දීය කණ්ඩායමටද මෙවැනිම සිදුවීමකට මුහුණදීමට සිදුවිය. නේපාලය හමුවේ බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණදීම නිසා ඉන්දියාවටද තරගාවලියේ මූලික වටයෙන් පසුව ඉවත් වීමට සිදුවිය. ඉන්දියාව පසුගිය වතාවේදී 19 න් පහළ ආසියානු කුසලාන ජයගත් කණ්ඩායමයි.

සහභාගි වූ තරග 3 ම ජයගත් අපරාජිත බංග්ලාදේශය මූලික වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත් අතර නේපාලය එහි දෙවැනි ස්ථානයට පත් විය.

‘ඒ’ කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ නේපාලයද, ‘බී’ කාණ්ඩයෙන් ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානයද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.

අවසන් පූර්ව වටයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව නේපාලයද, බංග්ලාදේශයට එරෙහිව පාකිස්තානයද තරග වැදීමට නියමිතය.

 

 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
නවසීලන්තය කඩුලු 7 කට 229 යි...
2018-12-03 20:00:03
පාකිස්තානයට එරෙහිව ඩුබායිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරන විට පන්ද...