. යුගයක් නිර්මාණය කළ යෝගා | කෙළිමඬල
2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා
යුගයක් නිර්මාණය කළ යෝගා
2017-12-17 20:30:05 | සැකසුම : සුසිල් ප්‍රේමලාල්


ජාතික මට්ටමින් වාර්තාවක් තැබූ පමණින් හෝ ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ජයග්‍රහණය ලැබූ පමණින් කිසිවකුට කිසිම ක්‍රීඩාවක හොඳ පුහුණුකරුවකු විය නොහැකිය. එහෙත් අද සිටින බොහෝ පුහුණුකරුවන්ට (විශේෂයෙන් මලල ක්‍රීඩාවේ) පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රායෝගික හෝ න්‍යායාත්මක දැනුමක් නැති බවත් එනිසාම ඇතැම් පුහුණුකරුවන් යැයි කියන පිරිස අන්තර්ජාලයෙන් හෝ වෙනත් පුහුණුකරුවකුගේ පුහුණූ ක්‍රමවේදයන් භාවිතා කරමින් පුහුණු කිරීමේ කටයුතුවල නියැලෙන බව ශ්‍රී ලංකාවේ හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතා පෙන්වා දෙයි.

අද වන විට ලෝකයේ සෑම ක්‍රීඩාවකදීම ජයග්‍රහණය මුදල් මත තීරණය වීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙන්ම පුහුණුකරුවෝද කෙටි සහ අනියම් මාර්ගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට පෙළඹී සිටිති. එවැනි පසුබිමක් මත කොතරම් දක්ෂතාවලින් හෙබි ක්‍රීඩකයන් හෝ ක්‍රියාත්මක වුවත් ඉදිරි ගමන කෙටි විය හැකි බවත් විජේසුන්දර මහතා පවසයි.

යෝගානන්ද විජේසුන්දර යනු 60 දශකයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් බිහිවූ දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙකි. කාලයාගේ ඇවෑමෙන් වොලිබෝල් ක්‍රීඩාව අතහැර මලල ක්‍රීඩාවට එක්වූ යෝගානන්ද මීටර 110 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ඉදිරියට පැමිණියේය. හෙතෙම පාසල් වියෙන් පසුව 1967 වසරේදී බණ්ඩාරවෙල ක්‍රීඩා නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට එක්වී ඇත.

සමකාලීනයන් යෝගා ලෙසත් ගෝල බාලයින් යෝගා සර් ලෙසත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ප්‍රචලිතව සිටි යෝගානන්ද විජේසුන්දර මහතා වසර 40 කට ආසන්න කාලයක ක්‍රීඩා අමාත්‍යංශ සේවයෙන් පසු දැන් විශ්‍රාම සුවයෙන් පිළිමතලාවේ පිහිටි සිය නිවසේ කාලය ගත කරයි. හෙතෙම ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සැලකෙන කේ.එල්.එෆ්. විජේදාස, නැසීගිය ලක්ෂ්මන් ද අල්විස්, නැසීගිය බ්‍රිගේඩියර් පැරි ලියනගේ, නැසීගිය ඩර්වින් පෙරේරා සහ එස්.එම්.ජී. බණ්ඩාර යන මහත්වරුන්ගේත් සමකාලීනයෙකි.

හෙතෙම දක්ෂ ක්‍රීඩකයෙකි. සිය හැකියාවන් පෙන්වා ඇති පුහුණුකරුවෙකි. එමෙන්ම මීට වසර 37 කට පෙර (1979) ආරම්භ කරන ලද ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත ක්‍රීඩා පාසල වර්තමානයේ වසරකට ක්‍රීඩා ඩිප්ලෝමාධාරීන් රැසක් බිහි කරන ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් බවට පත් කරලීම සඳහා උරදුන් යෝගානන්ද මහතා එහි ප්‍රථම අධ්‍යක්ෂවරයාද විය. එමෙන්ම සමස්ත ක්‍රීඩාව සහ සමාජය පිළිබඳ පුළුල් දැනුමක් ඇති දේශකයකු ලෙස ද ප්‍රකටය.

ලංකාදීප සමග පිළිසඳරකට එක්වෙමින් යෝගානන්ද විජේසුන්දර මහතා සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
මම අද මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස නමක් දිනා සිටියත් සැබැවින්ම මගේ ක්‍රීඩාව වොලිබෝල්. මම වොලිබෝල් ක්‍රීඩාවට තවමත් ආදරෙයි.

 ඇහැලියගොඩ මැදිමහ විදුහලේ පාසල් සිසුවකු ලෙස මම මුලින්ම සහභාගි වූයේ වොලිබෝල් ක්‍රීඩාවටයි. මට අයියලා හතර දෙනෙක් ඉන්නවා. ඒ අයත් වොලිබොල් ක්‍රීඩකයෝ. මම පාසල් වොලිබෝල් ක්‍රීඩාවේදී දස්කම් දැක්වූයේ සර්ව් කරන්නෙකු ලෙසයි. (පන්දු පිරිනැමීම) 1962 සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේදී තෙලිජ්ජවිල මැදි මහ විදුහල (මගේ මතකය විදියට) එක වටයක් පැරද්දුවේ ලකුණු 14-0 ලෙසයි. මගේ ඒ සෑම පන්දු පිරිනැමීමකටම ප්‍රතිවාදීන්ට පන්දුව එසවීමට නොහැකිවූවා. එය එවර තරගාවලියේ වාර්තාවක්.

පසු කලෙක මම වොලිබෝල් ක්‍රීඩාව අතහැර මලල ක්‍රීඩාව තෝරා ගත්තා. මම නියෝජනය කරන තරග ඉසව් තමයි මීටර 800 සහ මීටර 110 කඩුලු පැනීමේ ඉසවු. 1966 බැංකොක් ආසියානු  ක්‍රීඩා උළෙලේ සඳහා පැවැති තේරීම් තරගාවලියෙන් මම ජාතික සංචිතයට තේරුණා. නමුත් උසස් පෙළ විභාගය නිසා මට සංචිතය මග හැරුණා. පීටර් මාකර්ස් මහතා තමයි මගේ මලල ක්‍රීඩා පුහුණුකරු. එම යුගයේ පැවැති ඉන්දු ලංකා මලල ක්‍රීඩා තරගාවලියට පවා මම සහභාගිවී තිබෙනවා. ඒ කාලේ අපි ඉන්දියාවට ගියේ අද වගේ ප්ලේන් එකෙන් නොවෙයි. තලෙයිමන්නාරම හරහා දුම්රියෙන්.

ඉන්දියාවේ නො. 1 ක්‍රීඩකයෙක් තමයි සුජාන් සිං කියන්නේ. මම ඔහුව ලංකාවේදී පරාජය කළා. නමුත් මම ඔහුට ඉන්දියාවේදී පරාජය වූවා. ඩබ්ලිව්. විමලදාස සහ ඒ.එන්. ඛාන් මම සමඟ ඉන්දියානු සංචාරයට සහභාගි ගියා.

1967 දී මට ක්‍රීඩා නිලධාරියෙකු ලෙස පත්වීම් ලැබුණත් මම දැඩි කැමැත්ත දැක්වූයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්නයි. මම ආරම්භයේදීම පුහුණුකරුවෙකු ලෙස දැක්වූ සාර්ථකත්වය මත ජර්මනියේ මාස 10 ක පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මාව තෝරා ගත්තා. නමුත් එහි පශ්චාත් උපාධිය ලබා ගැනීමට මට නොහැකි වූයේ විද්‍යා විෂය සම්බන්ධව මගේ දැනුම ප්‍රමාණවත් නොමැති නිසයි. නමුත් 1980-82 වකවානුවේ මට යළි ජර්මනියේ ඩී.එච්.එෆ්.එම්. විශ්වවිද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබුණා.

මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස මම සාර්ථකත්වයයක් ගොඩ නගාගෙන සිටිනවා. මම තමයි මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩිම ශ්‍රී ලංකා වාර්තාලාභීන් බිහි කරපු පුහුණුකරු. මීටර 100 ඉසව්වේ සිට මීටර 1500 මා යටතේ පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා වාර්තා තියලා තිබෙනවා.

1990 ප්‍රථමවරට පැවැති කාන්තා මැරතන් තරගය ජයග්‍රාහිකාව සහ ප්‍රථම ශ්‍රී ලංකා වාර්තා ලාභිනිය වූ තමරා පද්මිනී මා යටතේ පුහුණුව ලැබූ ක්‍රීඩිකාවක්. ඇය මැරතන් ඉසව්ව පැය 3 මිනිත්තු 15 කට අවසන් කොට කාන්තා ප්‍රථම මැරතන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් පෑවා. ඒ වගේම තිලකා ජිනදාස (මීටර් 100 කඩුලු) දිලීමා පීටර්සන් (දුර පැනීම) ධම්මිකා මැණිකේ (මීටර් 800) ජයමිනි ඉලේපෙරුම (මීටර් 100, 200, 400 හා 800) රවින්ද්‍ර කුමාර ප්‍රනාන්දු (මීටර් 400) කේ.ඒ. කරුණාරත්න (මීටර් 1000 සහ මැරතන්) මංජුල රාජකරුණා (මීටර් 110 කඩුලු) පද්ම කුමාර අමරසේකර (මීටර් 400) මා යටතේ පුහුණුව ලබා ශ්‍රී ලංකා වාර්තා තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්.

එය පුහුණුකරුවෙකු ලෙස මා ලැබූ ස්වර්ණමය අවස්ථාවක් යයි විජේසුන්දර මහතා පැවසීය.

යෝගානන්ද විජේසුන්දර මහතා තනතුරු හඹාගිය පුද්ගලයෙකු නොවේ. 1984 ප්‍රථම වරට නේපාලයේ කත්මන්දු නුවර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස පත්කොට අවසන් මොහොත දක්වා ක්‍රියා කළේ විජේසුන්දර මහතාය. එහෙත් අවසන් මොහොතේ සංචාරයට එක් දිනක් ඉදිරියට තිබියදී යෝගානන්ද මහතා එම තනතුරෙන් සහ සංචාරයෙන්ද ඉවත් කර නැසීගිය බි්‍රගේඩියර් පැරී ලියනගේ මහතා මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස සංචාරයට එක් කිරීම ඔහුගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමකි. එහෙත් ඊට කිසිදු විරෝධයක් නොපෑ විජේසුන්දර මහතා බලධාරීන්ගේ තීරණයට හිස නමා ඉවත්විය.

“මම කිසි දිනක තනතුරු පස්සේ පැන්නූ පුද්ගලයෙක් නොවෙයි. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ මලල ක්‍රීඩාවේ බලධාරීන් මට විවිධ අකටයුතුකම් කළ අවස්ථා බොහෝ  තිබෙනවා. මම කිසිම දවසක ඊට විරෝධය පා මගේ තනතුරු රැක ගැනීමට ගියෙත් නැහැ. යන්නෙත් නැහැ”

“ක්‍රීඩාවේදී අපි ලබපු ජය පැරදුම මට හොඳට හුරුයි. නමුත් අද ඉන්න බොහෝ පුහුණුකරුවන් ලැබෙන ප්‍රතිලාභ සහ විදෙස් සංචාරවලටයි ප්‍රමුඛත්වය දෙන්නේ. එවැනි අවස්ථා ලබා ගැනීමට තමන් යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා බිල්ලට දීමට ඔවුන් සුදානම් යැයි විජේසුන්දර මහතා පෙන්වා දෙයි.

“පුහුණුකරුවා කියන්නේ සිය පෞද්ගලික ජීවිතය පවා අමතක කර දිනපතා උදේ පාන්දර 5.30 ට හෝ 6.00 පිට්ටනියට පැමිණෙන අයෙක්. ඔහු යළිත් ගෙදර යන්නේ සවස පුහුණුවෙනුත් පසුවයි. නමුත් ඔවුන්ට ලැබෙන වරප්‍රසාද අවම මට්ටමකයි තියෙන්නේ” යයිද යෝගානන්ද මහතා කියයි.

“අද අපේ රටේ සමස්ත ක්‍රීඩාවම පසුබැසීමට ලක්වී තිබෙනවා. එයට හේතු ලෙස එක එක්කෙනාට ඇඟිල්ල දිගු කළ පමණින් ප්‍රශ්නයට පිළියම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මලල ක්‍රීඩාවේ තේරීම් තරගාවලියේදී දස්කම් දක්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒ ඇයි ද යන්න සොයා බැලීම බලධාරීන්ගේ වගකීමක්”

අපේ රටේ වගේම වෙනත් රටවලත් තහනම් උත්තේජක භාවිතාකොට ජයග්‍රහණ ලැබීමට බොහෝ පිරිස් පෙළඹී සිටිනවා. එම තත්ත්වයට ප්‍රධාන හේතුව තමයි තහනම් උත්තේජක. මේ තහනම් උත්තේජක භාවිතය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයටත් පැතිර ගොස් ඇති බව දිනෙන් දින ලැබෙන වාර්තාවලින් පෙනී යනවා. යැයි විජේසුන්දර මහතා කීය.

73 හැවිරිදි යෝගානන්ද විජේසුන්දර මහතා පුහුණු කටයුතුවලින් දැනට ඉවත්වී සිටින අතර ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ දේශනවලට පමණක් සහභාගි වෙන බව පවසයි. හෙතෙම තුන්දරු පියෙකි.


සැකසුම : සුසිල් ප්‍රේමලාල්
ඡායාරූප : චමිල් රූපසිංහ

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...