. ඔලිම්පික් කමිටුවේ යහපාලනය ඉල්ලති | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
ඔලිම්පික් කමිටුවේ යහපාලනය ඉල්ලති
2017-12-26 17:21:03 | නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ බිඳ වැටී ඇතැයි කියන යහපාලනය ඇතිකර එහි වසර හතරක් තිස්සේ දිග්ගැසෙමින් තිබෙන නිලවරණය පැවැත්වීමට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක් එකතුව සකස් කළ විශේෂ ලිපියක් නැවත වරක් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමුකර ඇතැයි වාර්තාවේ. ඒ සඳහා ජාතික ක්‍රීඩා සංගම් 14 ක ප්‍රධානීහු අත්සන් තැබූ බවද කියැවේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට මැදිහත්  වන්න’යි මීට පෙරද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලිපියක් යවා ඇතත් එහි වැඩි විස්තර සටහන් වී නොතිබිණ. 

එසේ වුවත් මීට දින කිහිපයකට ඉහතදී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කළ එම ලිපියට කරුණු ගණනාවක් අඩංගුවේ. විශේෂයෙන්ම එම ප්‍රශ්නයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ ක්‍රියාකලාපය ගැන එම ලිපියෙන් චෝදනා කරන ජාතික ක්‍රීඩා සංගම් අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයා දැනුම්වත් කිරීමටද පියවර ගන්නා බවද එමගින් දන්වා තිබේ.

ලිපිය යොමු කළ ජාතික ක්‍රීඩා සංගම් තවදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ උද්ගතවී තිබෙන වත්මන් ඔලිම්පික් ප්‍රශ්නය සම්බන්ධයෙන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් පෞද්ගලිකව මුණගැසී සාකච්ඡා කිරීමටද සූදානමින් පසුවන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් පරිපාලනයට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට තමන් අපේක්ෂා කරන බව ඔවුන් අවධාරණය කර තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා ලබාදුන් විගණන වාර්තාවද ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ට වත්මන් ප්‍රශ්නයෙන් ගැලවී යා නොහැකි බව එහිදී ජාතික ක්‍රීඩා සංගම් එකමුතුවේ අදහසවී තිබේ.

ශ්‍රී ලංකා ඔලිම්පික් පරිපාලනයට එරෙහිව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර තිබෙන ලිපිය ලුහුඬින් මෙසේය.

● තුන්කොන් පාර්ශව ගිවිසුම: 2013 නොවැම්බර් 27 වැනිදා එවකට ඔලිම්පික් ව්‍යවස්ථාව හා ක්‍රීඩා පනත අතර ඇතිවූ අර්බුදය හමුවේ ප්‍රධාන පාර්ශ්ව තුන (ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යංශය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව) ඇතිකර ගත් ගිවිසුමට වසර හතරක් සපිරෙන මේ වන විටවත් සම්පූර්ණ නොවීම. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ පාරදෘශ්‍යභාවය හා යහපාලනය මුළුමනින්ම බිඳ වැටී තිබේ.

● අවසන් වරට පැවැත්වූ වාර්ෂික මහ සභා රැස්වීමේ (2011) වාර්තාව මෙතෙක් සාමාජිකත්වයට ඉදිරිපත් නොකිරීම. පසුගිය නොවැම්බර් 9 වැනිදා පැවති මහ සභා රැස්වීමේදී එය ඉදිරිපත් කරන ලෙස කළ බහුතර සාමාජිකයන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප වී තිබේ.

● වසර 2010 සිට මේ දක්වා වාර්ෂික වාර්තා හා ක්‍රියාකාරි සැළසුම් ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීමද පැහැර හැරීම.

● 2012 සිට 2016 දක්වා වාර්ෂික ගිණුම් වාර්තා මේ වනතෙක් ලබා නොදීම හා එම ගිණුම් වාර්තා කමිටුවේ විධායක සභාව හෝ නිලධාරි මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව 2017 අවසන් භාගයේදී විගණනය සඳහා බාරදීම තුළ කමිටුවේ ව්‍යවස්ථාව හා ක්‍රීඩා උල්ලංඝනය කිරීම.

● කමිටුවේ ව්‍යවස්ථා කෙටුම්පත මාස හයක පමණ කාලයක් රඳවා තබා ගනිමින් අනතුරුව දින 10 ක් ඇතුළත ඒ පිළිබඳව සිය අදහස් දැනුම්දෙන ලෙස සාමාජිකයන්ට දැනුම්දීම නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ උපදෙස් උල්ලංඝනය කිරීම. 

● ක්‍රීඩකයන්ගේ අනු කමිටුව - ලේකම්වරයා සිය පෞද්ගලික හිතුමනාපයට ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු එම අනුකමිටුවට නිර්දේශ කිරීම නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිර්නායකයන් හිතුමනාපයට වෙනස් කිරීම (විධායක කමිටුව හරහා ක්‍රීඩකයන්ගේ කමිටුව ස්ථාපනය කිරීම) යන යෙදුම කපා හැර එම ක්‍රියාවේ යෙදී ඇති බව හෙලි විය.

● ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් වසන් කිරීම - මහ සභා රැස්වීමක් කැඳවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිකුත් කර ඇතැයි කියන ලිපිය වසන් කිරීම - ක්‍රීඩකයන්ගේ අනුකමිටුව පිහිටුවීම සම්බන්ධයෙන් වැරැදි නිර්නායකයන් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් ඇමිණීම.

● න්‍යාය පත්‍රයට ව්‍යවස්ථානුකූලව කරුණු ඇතුළත් කිරීම - රැස්වීම් න්‍යාය පත්‍රයන්ට කරුණු ඇතුළත් කිරීමේ බලය ව්‍යවස්ථානුකුලව සාමාජිකයන්ට හිමිවුවත් කමිටුවේ පරිපාලනය එය නොසලකා හැරීම.

● මහ සභා රැස්වීමේදී ගත් තීරණ නොසළකා හැරීම - නොවැම්බර් 9 වැනිදා මහ සභාවේදී එකඟ වූ පරිදි එයින් දින 14 ක් තුළදී කමිටුවේ විධායක සභාව රැස්කිරීමට කටයුතු නොකිරීම.

● නව ක්‍රීඩා සංගම්හි ලේඛන ඉදිරිපත් නොකිරීම:

නව ජාතික ක්‍රීඩා සංගම් හයක් ජාතික ඔලිම්පික් කමිටුවට ඇතුළත්වීමට නියමිතය. එහෙත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුව එම සියලු සංගම්හි ලිපි ලේඛන සෑම සාමාජිකයෙකුටම එළඹෙන විශේෂ මහ සභා රැස්වීමට පෙර ලබාදිය යුතු වුවත් එය මේ වන තෙක් පැහැර හැර තිබීම.
● වත්මන් පරිපාලනයට හිතේෂි සංගම් කීපයකට පමණක් නව සාමාජිකත්වය පිරිනැමීමට දරන උත්සහය.

● නිලවරණය ලබාගැනීමට තිබෙන අයිතිය ව්‍යවස්ථානුකූලව විනාශ කිරීම: වසර අටක් තිස්සේ නොපැවැත්වුණු කමිටුවේ නිලවරණය වහාම පවත්වා අවසන් කරන ලෙස ජාත්‍යන්තර කමිටුව පසුගිය නොවැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකාවට දැනුම්දී තිබියදීත් එය තවදුරටත් දිග්ගැස්සෙන තත්ත්වයක් උද්ගතවීම.

● වසර 2018 ජනවාරි මාසයට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතු බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කර තිබියදී එය කැඳවෙන්නේ විගණන වාර්තා අනුමැතියෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ තුළ බලයට ඇති කෑදරකම ප්‍රදර්ශනය කිරීම.

● විශේෂ මහ සභා රැස්වීමේදී නිලවරණය කැඳවන දිනය එහි න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වුවත් ලේකම්වරයා එය ඒක පාක්ශිකව ප්‍රතික්ෂේප කිරීම තුළ නිලවරණය ඉදිරියේදී පැවැත්වීම සැකයට තුඩුදීම.

● නොකඩවා එකම නිලධාරීන් පිරිසක් තනතුරු දැරීම: පසුගිය වසර 20 කාලයක් පුරා කමිටුවේ පාලනය එකම ප්‍රධානීන් පිරිසක් විසින් පවත්වාගෙන යාම තුළ එකී කාලයන් තුළදී සිදුවී ඇතැයි කියන ඇතැම් අක්‍රමිකතා දැන් වාර්තා වෙමින් තිබේ.

● එකී කාලය තුළදී එක් නිල කාලයක් සඳහා ඔවුන් කටයුතු කර ඇත්තේ නිලවරණයකින් පත්වීම් සනාථ කර නොගනිමිනි. ලේකම්වරයා සිය ධුර කාලය වසර 13 ක් දක්වා දීර්ඝ කර ගැනීමට මේ වන විට සියලු උපායමාර්ග ඔහු යොදාගත්තේ ඔහුගේ ප්‍රතිරූපය නැංවීම සඳහා කමිටුවේ ඇතැම් සම්පත්ද යොදා ගනිමිනි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...