. ‘සෙරීනා’ නම් මව යළි ටෙනිස් පිටියට | කෙළිමඬල
2018 ජූලි මස 21 වැනි සෙනසුරාදා
‘සෙරීනා’ නම් මව යළි ටෙනිස් පිටියට
2017-12-27 19:19:11 | .

දශක දෙකක් තරුණියක සේ අන්තර්ජාතික ටෙනිස් පිටිය දිග්විජය කළ මෑත කාලයේ ටෙනිස් රැජන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් මවක ලෙස නැවත ටෙනිස් කරළියට අවතීර්ණ වෙමින් සිටී. ඇය මේ මස 30 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර මුබාඩලා ලෝක ටෙනිස් ශූරතාවලියේ ප්‍රදර්ශනාත්මක තරගයකට එක්වන්නීය.

මේ තරගයේදී ඇගේ ප්‍රතිවාදිනිය බවට පත්වනු ඇත්තේ ලැට්වියා රාජ්‍යයේ ටෙනිස් ශූරියක වන ජෙලීනා ඔස්ටපෙන්කෝය.

“අබුඩාබියේදී නැවතත් ටෙනිස් පිටියට පා තැබීමට ලැබීම ගැන මට පුදුමාකාර සතුටක්. පසුගිය සැප්තැම්බරයේ මගේ දරු සිඟිත්තිය ඉපදුණාට පස්සේ පළමුවතාවට ටෙනිස් පිටියට පා තැබීම ඇත්තටම විශාල සතුටක්” යයි සෙරීනා විලියම්ස් කීවාය.

“මුබාඩලා ලෝක ටෙනිස් ශූරතාවලිය කියන්නේ පිරිමි ටෙනිස් තරග බිමේ තරගාවලියක්. 10 වැනි වතාවටත් මේ තරගාවලියට කාන්තාවක් හැටියට ක්‍රීඩා කිරීමට ලැබීම මට මහත් ගෞරවයක්.... අබුඩාබියේ ක්‍රීඩාලෝලීන් හමුවේ මගේ පරණ දස්කම් පෙන්වනතුරු මට ඉවසුමක් නෑ” යයි ඇය කීවේ සිනහමුසු මුවින් යුතුවය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරග බිම විවෘත තරගාවලියක් බවට පත්වීමෙන් පසුව එයින්  ශූරතා 23 කටම හිමකම් කියමින් ටෙනිස් පිටියේ ආධිපත්‍ය පතුරුවාලූ මේ සුපිරි ක්‍රීඩිකාව සිය මාතෘත්වය වෙනුවෙන් මාස කිහිපයක්ම කැප කරමින් සියලු ක්‍රීඩා ක්‍රියාකාරකම්වලින් ඉවත්වී සිටියාය.

36 හැවිරිදි සෙරීනා මෙවර අබුඩාබියට යන්නේ ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියට එක්වීමට පෙර සිය දස්කම් මුවහත් කරගැනීමේ අභිලාෂයද ඇතිවය.

එහෙත් තවම ඇය ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට එක්වන්නේදැයි යන්න තහවුරු කර නැත. එසේ වුවත් නිතරම ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළු අත්පත් කරගැනීමේ නොතිත් ආසාවෙන් පෙළෙන මේ විශිෂ්ට ක්‍රීඩිකාව එම අවස්ථාව ලෙහෙසියෙන් අත් හැර දමනු ඇතැයි සිතිය නොහැකිය.

“එයා දැනටමත් වීසා අරන් ඉවරයි. තරගාවලියටත් නම දීලා ඉවරයි” යයි ජනවාරි මස 15 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අධ්‍යක්ෂ ක්‍රෙග් ටිලේ අනාවරණය කර තිබේ.

“කොහොමටත් ඕස්ට්‍රේලියානු ටෙනිස් පිටිය කියන්නේ සෙරීනාටම කියාපු එකක්. ඒ  නිසා ඇය මේ තරගාවලිය මඟ හැර ගනු ඇතැයි මා නම් සිතන්නේ නෑ” යයිද ඔහු කීවේය.


 - 077

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...