. කොළඹට කෝටි 8ක ටෙනිස් පිටියක් | කෙළිමඬල
2018 ජූනි මස 18 වැනි සඳුදා
කොළඹට කෝටි 8ක ටෙනිස් පිටියක්
2018-01-10 19:46:45 | නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට තරග වදින තමා එම ධුරයට පත් නොවූවත් නිලවරණයේදී දුන් පොරොන්දුව අනුව සිය වියදමින් ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ථ ටෙනිස් පිටියක් ඉදිකිරීමට ගත් තීරණය වෙනස් නොකරන බව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ උපසභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලබන පෙබරවාරි 23 වැනිදාට යෙදී තිබෙන නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා බාරදී තිබෙන සුබ්‍රමනියම් මහතා සිය දැක්ම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා එම මාධ්‍ය හමුව ග්‍රීන්පාත්හි ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්විණි.

ඒ සඳහා ඔහු රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වැය කිරීමට අපේක්‍ෂා කරන අතර එය අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ටෙනිස් පිටි අටකින් සමන්විතව ඉදිකෙරේ.

ශ්‍රී ලංකාවේ නිදහස් සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලබන පෙබරවාරි 1 වැනිදා දිවයිනට ළඟාවන බි්‍රතාන්‍යයේ එඞ්වඞ් කුමරු අතින් එහි මුල්ගල තැබීමට කටයුතු යොදා තිබේ. එදින එඞ්වඞ් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ග්‍රීන්පාත්හි ටෙනිස් සංගම් මූලස්ථානයට පැමිණ රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවට සම්බන්ධව සිටින ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ යාවජීව සාමාජික මැක්ස්වල් ද සිල්වා මහතා ඒ පිළිබඳව ලංකාදීපයට පැවැසුවේ තමා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ලෙස වසර 2016 දී ‘මැන්චෙස්ටර්’ නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ සමුළුවකට සහභාගි වෙමින් සිටියදී එඞ්වඞ් කුමරුට ශ්‍රී ලංකාවේ ටෙනිස් පිටියට මුල්ගල තැබීමේ උත්සවයට ආරාධනා කිරීමට බි්‍රතාන්‍ය රජ පවුලේ නියෝජිතයකු මගින් තමන්ට අවස්ථාව ලැබුණු බවයි.

එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ 2018 නිදහස් සමරු සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා සඳහා එඞ්වඞ් කුමරුට ශ්‍රී ලංකා රජයෙන් නිල වශයෙන් ආරාධනාව පිළිගන්වා තිබුණු බවත් ඔහු එහිදී පැවැසීය.

සුරේෂ් සුබ්‍රමනියම් මහතා කොළඹදී පෙරේදා (9) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේ තමන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව දැනට එම කමිටුව පවත්වාගෙන යන සිවුමහල් ගොඩනැගිල්ල මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස වැඩිදියුණු කිරීමට අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

ටෙනිස් ක්‍රීඩාවට පමණක් නොව ඔලිම්පික් කමිටුවේ සාමාජික සෙසු සියලු ජාතික ක්‍රීඩා සංගම්හි අභිවෘද්ධිය සඳහා අනුග්‍රහය ලබාදීමට තමා ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව කටයුතු කරන බවත් එහිදී ඔහු පැවැසීය.

සුබ්‍රමනියම් මහතා ආසියානු ටෙනිස් සංගමයේ හිටපු ලේකම්වරයකු වන අතර එහි වත්මන් උප සභාපතිවරයෙකි. වසර 2002 සිට 2007 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපතිවරයා ලෙසත් පසුව ටෙනිස් ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.

 මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පැවැසුවේ මේ දිනවල ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ගෙන යන අසත්‍ය ප්‍රචාර තුළින් එම කමිටුවේ ප්‍රතිරූපයට හානි ගෙන දී තිබෙන බවයි.

මැක්ස්වල් ද සිල්වා ඉලක්ක කර ගනිමින් ඔවුන් එම අසත්‍ය ප්‍රචාර ගෙන ගියත් අවසානයේ හානි   සිදුවන්නේ ජාතික ඔලිම්පික් කමිටුවට බැව් ප්‍රකාශ කළ ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනතට අනුව ගිණුම් වාර්තා විගණනය නොකිරීමේ චෝදනා මත සිය කමිටුවේ ප්‍රධාන තනතුරු තුන දරන්නන්ට ජාතික ක්‍රීඩා සංගම්හි නැවත තනතුරු දැරීම තහනම් කිරීමට ක්‍රිඩා අමාත්‍යාංශයට නොහැකි බව පැවැසීය.

සිය පාර්ශ්වය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලව ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනය කළත් එම ඇතැම් රෙගුලාසි නීතිපතිවරයා නැවත ප්‍රතිශෝධනය කිරීම ගැන ඇතැමුන් නොදන්නාකමට මෙවැනි ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන පෙබරවාරි 23 වැනිදා පැවැත්වෙන බවත් එහිදී සිය පාර්ශ්වය කූඩුකරමින් කරමින් නිලවරණය තනිව ජය ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයට තමන් කියා සිටින්නේ නිලවරණයට ඉදිරිපත් වී එය විසඳා ගනිමු යයි ද මැක්ස්වල් ද සිල්වා මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනවිරත්න මහතාද මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.

 

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් අයිලැක් මහතා සිහිවටනයක් ප්‍රදානය කළ අයුරු. ඔලිම්පික් කමිටුවේ සභාපති අපේක්ෂක සුරෙෂ් සුබ්‍රමනියම් මහතා ද මෙහි වෙයි.  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට...
2018-06-12 16:34:10
මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු ද...
කොදෙව්වෝ වසර 10 කට පසු ශ්‍රී ලංකාව පරදවති...
2018-06-11 10:22:52
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් අත්කර ගැනීමට බටහිර...