. ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් අබියස | කෙළිමඬල
2018 මැයි මස 22 වැනි අගහරුවාදා
ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් අබියස
2018-04-10 22:13:02 | .

වසර 68 කට පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං ක්‍රීඩාවෙන් පදක්කම් දිනාගැනීමේ අවස්ථාව උදාකර දීමට තිවංක රණසිංහ සහ අනූෂා කොඩිතුවක්කු සමත්ව සිටිති. කිලෝ ග්‍රෑම් 46-49 (පිරිමි) බර පංතියෙන් තිවංක රණසිංහද කිලෝ ග්‍රෑම් 45-48 බර පංතියෙන් අනූෂා කොඩිතුවක්කුද ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ්කෝස්ට නුවරදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග වල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.

තිවංක රණසිංහ කිලෝ ග්‍රෑම් 46-49 (පිරිමි) බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයේදී වනුවාටු දේශයේ බෙරී නම්රි පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.අනිද්දා (13 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයේ ගලාල් යෆායිට එරෙහිව තිවංක තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ජයගැනීමට සමත් වුවහොත් තිවංකට රන් හෝ රිදී පදක්කමක් කරා යෑමට අවස්ථාව හිමිවන අතර පරාජය වුවහොත් ඔහුට ලෝකඩ පදක්කමක් හිමිවනු ඇත.

අනූෂා කොඩිතුවක්කු සහභාගි වන කිලෝ ග්‍රෑම් 45-48 බර පංතියේ අවසන් පූර්ව තරගය අද (11 වැනිදා) පැවැත්වෙන අතර එහිදී ඇය ඔලිම්පික් ලෝකඩ පදක්ම්ලාභී ඉන්දීයාවේ මේරි කෝම්ට එරෙහිව තරග වැදීමට නියමිතය. මේරි කෝම් කිලෝ ග්‍රෑම් 45-48 යන බර පංතිවල ලෝක ශූරතා රන් පදක්කම සහ ආසියානු රන් පදක්කම පස් වරක් බැගින් දිනාගත් ක්‍රීඩිකාවකි.

මේරි කෝම්ට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබුවහොත් අනූෂාට කිලෝ ග්‍රෑම් 45-48 බර පංතියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනිමින් රන් හෝ රිදී පදක්කමක් කරා යෑමට අවස්ථාව හිමිවනු ඇත. යම් හෙයකින් අද පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී අනූෂා පරාජයට පත්වුවහොත් ඇයට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩාවෙන් අවසන් වරට පදක්කමක් දිනා ඇත්තේ 1950 දී ඕක්ලන්ඞ් නුවරදීය. එදා ඇල්බට් පෙරේරා (බැන්ටම්), ඇලෙක්ස් ඔබේසේකර (වෙල්ටර්) සහ කේ. එඞ්වින් (ෆ්ලයි) බරපන්ති වලින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්හ.

බොක්සි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දිනිඳු සපරමාදු සහ කේෂානි හංසිකා ඊයේ පරාජයට පත්වූහ. කිලෝ ග්‍රෑම් 64 (පිරිමි) බර පංතියේ අවසන් පූර්ව තරගයකදී නැමීබියාවේ ජොනාස් ජෝන්ස් හමුවේ දිනිඳු පරාජයට පත් වූ අතර කිලෝ ග්‍රෑම් 57 (කාන්තා) බර පංතියේ අර්ධ අවසන් පූර්ව තරගකදී නවසීලන්තයේ ඇලෙසිස් ප්‍රිට්චාර්ඞ් හමුවේ ඉෂානි පරාජයට පත්වූවාය.

දුර පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ජානක විමලසිරි ඊයේ (10 වැනිදා) සමත් විය.  එම ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී මීටර් 7.84 ක දුරක් පනිමින් ජානක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සුදුසුකම් ලබාගැනීමේ වටයේ දෙවැනි උත්සාහයේදී 5 වැනි ස්ථානයට පත්වූ ජානක, අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන් අතර 10 වැනි ස්ථානයේ පසුවේ. ඔහු සහභාගි වන අවසන් මහ තරගය අද (11 වැනිදා) පැවැත්වීමට නියමිතය.

මංජුල කුමාර සහභාගි වන උස පැනීමේ (පිරිමි) අවසන් තරගය සහ දිල්හානි ලේකම්ගේ සහභාගි වන හෙල්ල විසිකිරීමේ (කාන්නා) අවසන් මහ තරගයද අද පැවැත්වේ.

ඊයේ පැවැති මීටර් 200 දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගයකදී තත්පර 23.43 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක සමත් වූවාය. මූලික වටයේ දෙවැනි තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූ රුමේෂිකා, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ තරගකාරියන් 16 දෙනා අතර 12 වැනි ස්ථානයේ පසුවන්නීය. ඇය සහභාගි වන අවසන් පූර්ව තරගය අද පැවැත්වේ.

මේසපන්දු පිරිමි කේවල සහ කාන්තා කේවල ඉසව්වල මූලික තරග වලදී ජයග්‍රහණ දෙක බැගින් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවේ නිර්මල ජයසිංහ, රොහාන් සිරිසේන සහ හංසනී පියුමිලා සමත් වූහ.

පිරිමි කේවල ඉසව්වේ 10 වැනි කාණ්ඩය යටතේ තරග වැදුණ නිර්මල ජයසිංහ, ශාන්ත කිට්ස් හා නෙවීස් දූපත්හි ක්‍රීඩකයා සහ ජැමෙයිකානු ක්‍රීඩකයා පරදවමින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. 15 වැනි කාණ්ඩය යටතේ තරග වැදුණ සහ රොහාන් සිරිසේන, එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ බහමාස් සහ වනුවාටු ක්‍රීඩකයන් පරාජය කරමිනි.

කාන්තා කේවල ඉසව්වේ 10 වැනි කාණ්ඩය යටතේ තරග වැඳුණ හංසනී පියුමිලා, පාකිස්තානු සහ කැනඩා ක්‍රීඩිකාවන් පරාජය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ අත්කර ගත්තාය.

මේසපන්දු කේවල ඉසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ උදය රණසිංහ, එරන්දි වරුසවිතාන සහ ඉෂාරා මධුරංගි මූලික වටවලදී එක් තරගය බැගින් ජයගනිමින් එක් තරගය බැගින් පරාජයට පත්වූහ.

ඊයේ පැවැති බැඞ්මින්ටන් ඉසව්වල මූලික තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම එහිදී ජයග්‍රහණ ලබා දෙවැනි වටවලට සුදුසුකම් ලබාගත්හ. පිරිමි කේවල ඉසව්වට සහභාගි වූ බුවනෙක ගුණතිලක, නිලූක කරුණානායක සහ දිනූක කරුණානායක යන ක්‍රීඩකයන් ඔවුන් තරග වැඳුණ මූලික වටයේ තරගවලදී පිළිවෙලින් පාකිස්තාන, ෆෝක්ලන්ඞ් දූපත් සහ සීෂෙල්ස් ක්‍රීඩකයන් පරාජය කළහ.

කාන්තා කේවල ඉසව්වේ මූලික වටයට සහභාගි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකව වූ හසිනි අම්බලන්ගොඩ එහිදී ජර්සි දූපත්හි එමිලි රෙඞ්ෂොව් පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය. සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා උගන්ඩා කණ්ඩායම පරාජය කරමින්ද, බුවනෙක ගුණතිලක සහ කවිඳි සිරිමාන්නගේ ගයානා කණ්ඩායම පරාජය කරමින්ද මිශ්‍ර යුගල ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.

 

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...
කොදෙව් සංචාරයේ සංයුතිය වෙනස් වෙයි...
2018-05-19 19:07:13
මේ මස අගදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනෙන් එකක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ ...