Last Update  :  2019-09-19 19:53:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Cricket බෝල්ට් - සවුති ශ්‍රී ලංකාව අමාරුවේ දමති

බෝල්ට් - සවුති ශ්‍රී ලංකාව අමාරුවේ දමති

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකම ඕවරයකදී පිතිකරුවන් දෙදෙනකු බැගින් ආපසු ක්‍රීඩාගාරයට යැවූ ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති ශ්‍රී  ලංකා කණ්ඩායම සන්ත්‍රාසයට පත්කරමින් දෙවැනි ටෙස්ට් තරගයේ වාසිය තමන් වෙත උදුරා ගත්හ. කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දින ක්‍රීඩාව ආරම්භයේදී කඩුලු 2 කට ලකුණු 90 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව බෝල්ට් සහ සවුති දෙදෙනාගේ පන්දු යැවීම නිසා පැයක් වැනි කාලයක් ඇතුළත කඩුලු 6 කට 130 ක් දක්වා වෙනස් විය.

තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියේය.
 
දිමුත් කරුණාරත්න ලබාගත් අර්ධ ශතකය හැරෙන්නට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ සියලු දෙනාම පාහේ අසාර්ථක වූහ. ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න (2), ඇන්ජලෝ මැතිව්ස් (2), කුසල් පෙරේරා (0) සහ නිරෝෂන් දික්වැල්ල (0) යන සිව්දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 4 ක් පමණි.

අඩහෝරාවකටත් වැඩි කාලයක් පුරා පිටියේ රැඳුණු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 28 කට මුහුණ දීමෙන් පසුව හුක් පහරක් ගැසීමට යාමේදී කඩුලු රකින්නාට උඩපන්දුවක් ලැබිණ. කුසල් ජනිත් පෙරේරා තමන් මුහුණ දුන් සිව්වැනි පන්දුව නිදැල්ලේ යාමට ඉඩ දුන් නමුත් එය කඩුල්ල තුළට ඇදී එන බව වටහාගන්නා විට ඔහුගේ ඉනිම නිමාවීමට අවශ්‍ය සියල්ලම සිදුවී හමාරය.

පැය හතරකට වැඩි කාලයක් තිස්සේ සිය කණ්ඩායම වෙනුවෙන් වෙහෙසකර පිතිහරඹයක නිරතව සිටි දිමුත් කරුණාරත්නට නවසීලන්ත පිලේ සිටින දකුණත් වේග පන්දු යවන්නාගෙන් ලැබුණේ ඉතාමත් හොඳ පන්දුවකි. පිට ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව පිතිකරුවාගෙන් ඉවතට දෝලනය වන අතරේම පිත්තේ පිටත දාරය සොයාගනිමින් ගොස් කඩුලු රකින්නාගේ අත් ආවරණ තුළ සැඟවී ගියේය. පන්දු 3 කට පසුව දික්වැල්ලට ලැබුණේත් එවැනිම පන්දුවකි.

දිමුත්ගේ දීර්ඝ ඉනිම නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අලි අමාරුවක වැටෙන්නට තිබිණ. කෙසේ වෙතත් අංක 6 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි ධනංජය ද සිල්වාගේ ස්ථාවර පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144 ක් දක්වා ඉදිරියට ගියද ඒ වෙනුවෙන් ටේ‍රන්ට් බෝල්ට්ගෙන් ගිළිහී ගිය උඩපන්දුවත් විශාල දායකත්වයක් දැරීය. ටේ‍රන්ට් බෝල්ට් යනු නවසීලන්ත පිලේ සිටින විශිෂ්ටතම පන්දු රකින්නකු වුවද අද දිනයේ ඔහු අතින් ගිළිහී  ගිය උඩපන්දුවට වඩා පහසු උඩපන්දුවක් පසුගිය දශක කිහිපයේදීම ටෙස්ට් පිටියේ දක්නට නොලැබිණ.

ධනංජයගේ පිත්තේ දාරයේ වැදී එකතැන ඉහළ ගිය පන්දුව රැකගැනීමට කඩුලු රකින්නාත් තවත් පන්දු රකින්නන් දෙදෙනකුත් දිව ආ නමුත් පන්දු යැවූ බෝල්ටම තමන්ගේ ගොදුර ඩැහැගැනීමට ඔව්හු ඉඩදුන්හ. එහෙත් හිසට ඉහළින් එන පන්දුව රැකගැනීමේදී තිබූ තාක්‍ෂණික දෝෂය හේතුවෙන් බෝල්ට්ගෙන් උඩපන්දුව ගිළිහී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමත් සමගම නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 250 සම්පූර්ණ කිරීමට ටේ‍රන්ට් බෝල්ට්ට හැකිවිය. ශ්‍රීමත් රිචඞ් හැඞ්ලි සහ ඩැනියෙල් විටෝරි හැරුණු විට නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 250 ක් දවාගෙන ඇත්තේ බෝල්ට් පමණි.

  ඡායාරූප - චතුර එස්. කොඩිකාර

..



අදහස් (0)

බෝල්ට් - සවුති ශ්‍රී ලංකාව අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.